Gotabaya Rajapaksa

ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය නිදහස් වුණේ තාක්ෂණික හේතුවක් මත; නැවත නඩු පැවරිය හැකියි

නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය සමුද්‍රාරක්ෂක සේවා ඇවන්ට්ගාඩ් නම් පෞද්ගලික සමාගමට පැවරීමෙන් රජයට රු. බිලියන 11.4ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඔවුන් අටදෙනා ම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද දින නිදහස් කරන ලදී. ඔවුන් නිදහස් කරනු ලැබුවේ අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවකට අනුවයි.

Translations by Creative Content Consultants

නඩුවේ විත්තිකරුවන් අටදෙනා අතරින් එක් අයෙකු වන ගෝඨාභය රාජපක්ෂ නඩුව අභියෝගයට ලක් කරමින් පළමුව මහාධිකරණයට ද, එය ප්‍රතික්ෂේප වීමෙන් පසු අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කරන ලදී. මෙම නඩුව පවරා තිබුණේ 2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ සමුද්‍රාරක්ෂණ සේවා නීති විරෝධී අන්දමින් ඇවන්ට්ගාඩ් සමාගමට පැවරීම සම්බන්ධයෙනි.

මෙම නඩුව ඉවත දැමීමට අභියාචනාධිකරණය තීරණය කළේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරය නොමැතිව නඩු පැවරීම යන තාක්ෂණික කාරණය මුල් කරගෙන ය.

සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට ඉතිරි කරමින් අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අටදෙනා නිදහස් කරන ලෙස නියෝග කරන ලදී.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ඇවන්ට්ගාඩ් සභාපති සමග පවත්වා ලීක් වූ හඬපටයෙහි ද මෙම නඩුව ගැන සඳහන් වේ. එහෙත්, දැන් ඇය කියන පරිදි, ඇය බොරු නඩුවක් පැවරූ බවක් අභියාචනාධිකරණය ප්‍රකාශ කර නැත. අභියාචනාධිකරණය එම නඩුව ප්‍රතික්ෂේප කරන්නේ තාක්ෂණික කාරණාවක් මත ය. එසේම, එම නඩුව නැවත නිසි පරිදි පැවරීමේ හැකියාව ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තිබේ.

මේ හා සම්බන්ධ තවත් නඩුවක් පිළිබඳ විස්තර මෙතැනින්. නිශ්ශංක සේනාධිපති මේ කරන්නේ අධිකරණයට අනිසි බලපෑමක්