hate speech

සමාජ මාධ්‍ය මොබ් මානසිකත්වය හඳුනාගන්න

අජිත් පැරකුම් ජයසිංහ

මේ පෝස්ට් එක මං ෂෙයා කරන්නෙ එය ලියපු කෙනාගෙ අවසරය ඇතිව. සමාජ මාධ්‍ය මොබ් මානසිකත්වය කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් ඉදිරිපත් කරන්න. මේ අදහස පිළිනොගන්නත් ඔබට අයිතිය තියෙනවා.

මේ පෝස්ට් එකෙන් කියන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් විස්ටතර කරන්නට ඕනැ නැහැ. මම දකින විදියට නම් ඒක ප්‍රචණ්ඩත්වය දිරිගැන්වීමක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ අදහසකුත් එයින් ගම්‍ය විය හැකියි. මෙවැනි සටහන් රටේ පවතින විවිධ නීති යටතේ වැරදි වෙන්නට පුළුවන්. ඔහු මේ ගැන කියන්නේ “මේකෙ අර්තය තමයි සමස්ත හමුදාවම කොල්ලකාරී පාලක පවුලට එරෙහිව ජනතාව පැත්ත ගත යුතුයි කියන එක” යනුවෙනුයි. ඒක එහෙම කිව්වා නම් මීට වඩා හොඳ නැද්ද?

ඊටත් වඩා මේ අමතන්නෙ ඉතා බලවත් පුද්ගලයන් දෙදෙනෙකුට බව ඕනැ කෙනෙකු දන්නවා. ඒකෙ තියෙන අවදානම ගැන මා මෙය ලියූ කෙනාට අදහසක් පවසන්නට උත්සාහ කළත් ඔහු ඉතා නිර්භීත පුද්ගලයකු බව මට පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත්, මා ඔහුගේ නම ඉවත්කර මෙම පිංතූරය පළකරන්නේ ඒ නිර්භීතකම සමහරවිට පසුව නැතිවන්නට පුළුවන් නිසායි.

මෙය කියවන ඔබ එතරම් නිර්භීත පුද්ගලයකු නොවන්නට පුළුවන්. විශේෂයෙන්ම මා වැනි අයෙකු වෙන්නට පුළුවන්. මාත් සමාජ මාධ්‍යවල බොහෝ දේ ලියනවා, පළකරනවා. හැබැයි, මොන දේ ලිව්වත්, මා ඒ ගැන දැඩි ලෙස සැලකිලිමත් වෙනවා. සමහර වෙලාවට වැරදි සිදුවෙනවා. වහාම ඒවා නිවැරදි කරනවා. අවශ්‍ය වුණොත් සමාව ගන්නවා.

මෙවැනි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලකදී වීදියේ විරෝධතාවකදී වගේම සමාජ මාධ්‍යවලදීත් අපට ඉතා සටන්කාමී අදහස් එනවා. අපි ඒවා ප්‍රකාශ කරන්නට නිර්භීත වෙනවා. එයට හේතුව, අප ඉන්නේ සමූහයක් ඇතුළේ වීම. ආවේගශීලී හැඟීමෙන් එකතු වුණ සමූහයකදී අපට තනි තනි පුද්ගලයන් ලෙස නොදැනෙන අමුතු ශක්තියක් දැනෙනවා. ඒක නරක දෙයක් නෙමෙයි. සාමාන්‍ය තත්වයක්. හැබැයි, ඒක සීමාව ඉක්මවා නොයන පරිදි පාලනය කරගන්නට අපට හැකිවිය යුතුයි. එවැනි පසුබිමකදී පවා එළඹ සිටි සිහියෙන් යුක්තව කටයුතු නොකළොත් අප පෞද්ගලිකව අමාරුවේ වැටිය හැකියි. අපේ අතින් වැරදි සිදුවිය හැකියි. ඒ වැරදි ඒ වෙලාවේ වීරකම් ලෙස අභිනන්දනයට ද ලක්විය හැකියි.

මේ ලියන මා වුණත්, මොබ් මැදදී සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ වගේම තමයි, මා සතුරු මොබ්වලට මැදිවී ගුටි නොකා අනූ නමයෙන් බේරිලාත් තියෙනවා.

මොබ් හැමදාම තියෙන්නෙ නැහැ. ඒවායේ උණුසුම බැස යනවා. අප ආයෙත් සාමාන්‍ය තත්වයට, පියවි සිහියට පත්වෙනවා. ඒ වගේම, ඇතැම් අරගල පරදිනවා. අපේ වෛරයට ලක්වූ අය ද නැවතත් ඔවුන් කලින් සිටි තත්වයට පත්වෙන්නට පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි, අපේ අතීත ක්‍රියා සම්බන්ධයෙන් සමහරවිට අපට පසුතැවෙන්නට සිදුවෙන්නෙ.

මොබ් මැද සිටින විට පවා අප එළඹ සිටි සිහියෙන් යුක්තව අප පාලනය කරගත යුත්තෙ ඒ නිසායි. සමාජ මාධ්‍ය මොබ් චර්යාවන්වලදී මතක තබාගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි, අප ලියන දේ යම් පිරිසකට සන්නිවේදනය විය හැකියි. අප පසුව එය මකාදැමුවත්, එහි ස්ක්‍රීන්ෂොට් තිබිය හැකියි.

ඒ නිසා සමාජ මාධ්‍ය මොබ්වලිනුත් පරිස්සම් වෙන්න. නීතියට, ආචාරධර්මවලට පටහැණිව කටයුතු කරන්න එපා. මාධ්‍ය, සමාජ මාධ්‍ය ආශ්‍රිත නීති මොනවාදැයි හදාරන්න. ඔබ ලියන දේ වෛරී ප්‍රකාශයක්ද කියා පළකිරීමට පෙර නැවත සලකා බලන්න. හෙටත් මාධ්‍යකරණයේ යෙදෙන්නට ඔබ අද ආරක්ෂා විය යුතුයි. මොනම ප්‍රකාශනයක්වත් ඔබේ ජීවිතය තරම් ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් වටින්නේ නැති බව මතක තබාගන්න.