Hudson Samarasinghe

රුවන්ඩාවේ ජන සංහාර රේඩියෝව සිහිපත් කරන හඩ්සන්

අජිත් පැරකුම් ජයසිංහ

හඩ්සන් සමරසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු හා අධ්‍යක්ෂ ජනරාල්වරයකු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂකයකු ද විය. ඔහු දැන් නැවතත් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාය.

ගුවන් විදුලි සංස්ථාව එම නමින් ඇති පනතේ සිටම සංශෝධනය කළ යුතුය. තාක්ෂණික වශයෙන් පමණක් නොව අන්තර්ගතය පැත්තෙන් ද බාල තත්වයේ ගුවන් විදුලි නාලිකා රැසක් පවත්වාගෙන යන ආයතනයක් වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සෙසු ගුවන් විදුලි සේවා සහා බලපත්‍ර ලබාදීමේ බලතල පවා තිබේ. ගුවන් විදුලි සංස්ථාව ඒ කාර්යයට පමණක් සීමා විය යුතුය. මාධ්‍යකරණයෙන් ඉවත් විය යුතුය. ඉතා වටිනා දේපලක් වන ගුවන් විදුලි සංස්ථා මූලස්ථානය රේඩියෝ කටුගෙයක් බවට පත්කර එහි තිබෙන ශ්‍රව්‍ය උරුමය සංරක්ෂණය කළ යුතුය. ගුවන් විදුලි සංස්ථාවේ රේඩියෝ නාලිකා බහුතරය වසා දැමිය යුතුය. එහි සේවකයන් බහුතරයක් වන්දි ගෙවා ඉවත් කළ යුතුය. ප්‍රජා ගුවන්විදුලියක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ප්‍රතිව්‍යූහගත කළ හැකිය. මහජන මුදලින් නඩත්තු කළ යුත්තේ මහජනතාවට ප්‍රයෝජනවත් එවැනි ගුවන් විදුලි සේවයකි. දැන් ගුවන් විදුලිය පවත්වාගෙන යන්නේ එහි සේවකයන්ට පඩිනඩි ගෙවන නිසා මොනවා හෝ කියා සිංදු, පිරිත්, බණ ආදිය වාදනය කරන්නටය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යනු ඉරිසියාවට තැටි සීරූ කලාකරුවන් පවා සිටි ස්ථානයකි. එසේම, එය හැමදාමත් සංගීත පුටු තරගයකි. වත්මන් ආණ්ඩුව බලයට ආ පසු ද, රෝහණ දේව පෙරේරා, ජගත් වික්‍රමසිංහ, චන්ද්‍රපාල කුමාරගේ වැනි අය එහි නාඩගම් පෙන්වූහ.

පළමුව 1989 දී ඔහු පත්වූයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට පත්වූ හඩ්සන් සමරසිංහ 2003 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනය විසින් යළිත් ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරයට පත්කරන ලදී. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද 2007 වසරේදී ඔහු එම තනතුරට පත් කරනු ලැබිණි. හඩ්සන් සමරසිංහ මහතා 2015 වසර දක්වා එම තනතුර හෙබවීය.

මහින්ද රාජපක්ෂ පාලනයේ අගහරිය වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව උපරිමයෙන් පිරිහී පාඩු ලබමින් තිබුණි. එහෙත්, හඩ්සන් සමරසිංහ එහි රේඩියෝ නාලිකා රාජපක්ෂවාදී දේශපාලනය සඳහා අමු අමුවේ භාවිතා කරමින් තිබිණි. සභාපති හඩ්සන් ඍජුවම වැඩසටහන් මෙහෙයවමින් අමු අමුවේම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කළේය. එපමණක් නොව රාජ්‍ය ගුවන් විදුලියෙන් ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට හා රාජ්‍ය නිලධාරීන්ට තර්ජන පවා කළේය.

පහත දැක්වෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිනී, නිදහසේ වේදිකාවේ කැදවුම්කාර මණ්ඩල සාමාජිකා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු වෙත 2013 නොවැ 04 වනදා රට යන අත නමින් වු වැඩසටහනේදී එහි සභාපති හඩ්සන් සමරසිංහ විසින් දුරකථන ඇමතුම් මෙහෙයවමින් කරන ලද මරණ තර්ජන පිළිබඳ ඇය විකල්ප වෙබ් අඩවියට කරන ලද ප්‍රකාශයකි.

“ඊයේ උදෑසන 9ත් 9.30ත් අතර විකාශය වූ වැඩසටහනට මට සවන් දීමට අවස්ථාවක් ලැබුනා. අසන්නන් කියලා කණ්ඩායමක හතර පස්දෙනෙක්ගේ ටෙලිෆෝන් පණිවිඩ මට අසන්න අවස්ථාව ලැබුණා. එක මහත්මයෙක් ටෙලිෆෝන්කරලා ‘මේ නිමල්කා ප්‍රනාන්දුලා වගේ අයව මේ සමාජයේ තියා ගන්න හොද නැහැ. නමුත් ඔවුන්ව විනාශ කිරීමට රජය මැදිහත් වෙන්න ඕන නෑ. ලොරියක් හරි ඒ වගේ වාහනයක් යොදා ගනිමින්, හදිසි අනතුරක් ඇති කරලා ඇයව විනාශ කරන්න ඕන’ කියලා කිව්වා. දැන් මෙය දුරකථන මාර්ගයෙන් එන්නේ කාටද? හඩ්සන් සමරසිංහ මහත්තයාගේ මේ වැඩසටහනට. ඔහු කිසිසේත්ම මෙය රටේ සාපරාධි අපරාධයක් කිරීම සදහා වාතාවරණයක් සකස් කරන මතයක් හැටියට හෙළා දැක්කෙත් නැහැ, ඔහු එය අනුමත කරමින් ‘අන්න, පේනවා නේද‘ කියලා එයට අත්පුඩි ගැසුවා.’’

රේඩියෝ නාලිකාවක් විසින් ජන සංහාරයකට දක්වන ලද දායකත්වය පිළිබඳ මෑතදී අසන්නට ලැබුණු භයානකම කතාව වන්නේ 1994 රුවන්ඩා ජන සංහාරයට එරට රජයට අයත් රේඩියෝ රුවන්ඩා සහ විශේෂයෙන් Radio Télévision des Milles Collines (RTLM) විසින් දක්වන ලද දායකත්වයයි. රේඩියෝ රුවන්ඩා වෛරී ප්‍රකාශ විකාශයන්වලට බාධා එල්ලවීමෙන් පසු බලයේ සිටි හුටූ ජනවාර්ගික ජනාධිපති හබියරිමානගේ හා ඔහුගේ බිරියගේ මූලිකත්වයෙන් RTLM පෞද්ගලික රේඩියෝ සේවය ආරම්භ කරන ලදී. රුවන්ඩාවේ සාක්ෂරතාව අඩු ජනයා අතර, විශේෂයෙන්ම තරුණ ජනයා අතර RTLM ඉක්මණින්ම ජනප්‍රිය විය.

1993 සිට 1994 අග දක්වා, ටුට්සි ජනවර්ගයට එරෙහි ද්වේෂ සහගත, දුස්තොරතුරු හා වෛරී ප්‍රකාශ ප්‍රචාරය කිරීම සඳහා RTLM රේඩියෝව භාවිතා කරන ලදී. ටුට්සි ජාතිකයන් ඝාතනය කිරීම සඳහා මෙම රේඩියෝවෙන් ඍජුවම උපදෙස් ලබාදුන් අතර ඝාතකයන්ට ප්‍රශංසා කිරීමට ද රේඩියෝව යොදාගැනිණි. රුවන්ඩා ජන සංහාරයේදී හුටු ජනවර්ගය විසින් දින 100ක් ඇතුළත ටුට්සිවරුන් ලක්ෂ අටක් පමණ ඝාතනය කරන ලදී.

1990 දශකයේ රුවන්ඩාවේ සිටි තරම් අශික්ෂිත ජනතාවක් ශ්‍රී ලංකාවේ සිටිනවාද යන්න සැක සහිතය. එහෙත්, ඒ මට්ටමේ අසික්කිත පාලකයන් මෙන්ම ජනමාධ්‍ය කළමනාකරුවන් ද ලංකාවේ සිටින බව නම් සත්‍යයකි.

මේ ලිපියත් කියවන්න:

පරිස්සම් වන්න. ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන හැටි දැනගන්න

Creative Content Consultants