Dilith Jayaweera - Derana owner

ජනාධිපතිවරණ ප්‍රචාරණය සඳහා මහජන දේපල අපහරණය ඇරඹේ

ප්‍රදීප් එන්. වීරසිංහ විසිනි

දෙරණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය සඳහා මහජන දේපල අව භාවිතය පටන් ගනී.

අද අහම්බෙන් දෙරණ ප්‍රවෘත්ති බැලුවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය පිළිගැනීමේ අවස්ථා ගණනාවක් අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රචාරයට ඇතුළත් කරලා තිබුණේ එම ප්‍රවෘත්තිමය දර්ශන වලට ගෝඨාභයගේ ජනපතිවරණ ප්‍රචාරණ ගීතයක් අතින් දාලා සංස්කරණය කරලා. එමගින් එම ප්‍රවෘත්තිය දෙරණ “දෙවැනි ඉනිම නාට්‍යමය ජවනිකාවක්” එහෙම නැත්නම් “දේශපාලන දැන්වීමක්” බවට පත්කරලා තිබුණා.

දෙරණ මේ භාවිතා කරන්නේ මහජනතාව සතු සීමිත පොදු දේපලක් වන විද්‍යුත් චුම්බක සංඛ්‍යාත පරාසයයි. ඒවා රජය විසින් බදු දී තිබෙන මහජන දේපලකි.

දෙරණට මේ මහජනතාව සතු පොදු දේපල දීලා තියෙන්නේ ප්‍රවෘත්ති මගින් මහජනතාවට කරුණුමය සත්‍යය දැනගන්න ඉඩ සලස්වන්න මිස දෙරණ අයිති, දිලිත් ජයවීරගේ දේශපාලන දැන්වීම් “ප්‍රවෘත්ති ස්වරූපයෙන්” ප්‍රවෘත්ති වලට ඇතුලත් කරලා නොමිලේ ප්‍රචාරය කරන්න නෙවෙයි.

මේක මුළුමනින්ම මහජනතාව ගොනාට ඇන්දීමක්.

දෙරණ පාවිච්චි කරන්නේ සීමිත පොදු දේපලක්. ඒ දේපල හැමෝටම අයිති කරගන්න බැහැ. ජනපතිවරණයට ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන්ට වෙන වෙනම රූපවාහිනී නාලිකා අයිති නෑ. ඒ නිසා එක් අපේක්ෂකයෙකුට රූපවාහිනි නාලිකාවක් නොමිලේ ප්‍රචාරය ලබාදීම අනිත් අපේක්ෂකයන්ට කරන අසාධාරණයක් වගේම ඡන්දදායකයන් නොමඟ යැවීමක්.

දෙරණ කරන මේ වැඩේ නිසා සියලුම තොරතුරු වලින් සහ සියලුම මතවලින් සන්නද්ධ වෙලා ඡන්ද පොළේදී නිවැරදි තීරණ ගන්න ඡන්දදායකයාට තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක්.

සල්ලි තියෙනවා නම් ඕනම කෙනෙකුට පත්තරයක් පටන් ගන්න පුළුවන්. ඒත් සල්ලි තිබ්බ පලියට ඕනම කෙනෙකුට රූපවාහිනී මධ්‍යස්ථානයක් පටන් ගන්න බැහැ.. ඒකට බලපත්‍රයක් ගන්න ඕන. බලපත්‍රය ලැබෙන්නේ සීමිත පිරිසකට. අපේ රටේ බලපත්‍ර දීලා තියෙන්නේ හොර රහසේ පස්ස දොරෙන්.

බලපත්‍ර ගත්ත රූපවාහිනී නාලිකා හිමිකරුවන් මෙම බලපත්‍ර තමන් කැමැති පුද්ගලයන් බලයට පත් කරන්න භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම ‍ ප්‍රජාතන්ත්‍ර විරෝධී කාර්යයක්. මහජන දේපල අව භාවිතා කිරීමක්.

පසුගියදා ගෝඨාභය ජනාධිපති අපේක්ෂක වශයෙන් නම් කළ අවස්ථාව දෙරණ සජීවීව ප්‍රචාරය කළා. අනිත් දේශපාලන පක්ෂ (UNP, JVP, TNA, Muslim Congress, ස්වාධීන අපේක්ෂකයින් ඇතුළුව) තම අපේක්ෂකයන් නම් කළ විට ද දෙරණ එම අවස්ථා සජීවීව ප්‍රචාරය නොකළොත් එය මහජන දේපළ අවභාවිතා කිරීමක් වගේම රටේ ‍ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙලීමක්.

මේ කාරණය “සජිත් එනවා” සජීවීව ආවරණය කළ සිරසට ද වලංගුයි.