ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලය

ජගත් නිදහස් මාධ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. අපේ රටේ මාධ්‍ය වපසරියේ ක්‍රියාකාරිත්වය දිහා බැලුවම මෙරට ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මතු වෙලා තියෙන්නේ මාධ්‍ය කර්මාන්තය තුළින්ම බව පේනවා. මාධ්‍යකරුවන් වගේම මාධ්‍ය සිටුවරුන් ද ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට තර්ජනයක්.

අද ලෝකයේ සිටින අංක එකේ මාධ්‍ය සිටුවරයෙක් වන FOX මාධ්‍ය ජාලයේ හිමිකරු රූපට් මර්ඩොක්ගේ  මේ වචන බලන්න. “ට්‍රම්ප් පැරදුණා කියන ප්‍රවෘත්ති අපි ප්‍රචාරය කරාට පස්සේ අපේ නරඹන්නන් ප්‍රමාණය 50% කින් ද, වෙළඳ දැන්වීම් ආදායම 50% කින් ද පහළ ගියා. ඊට පස්සේ අපි ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ජෝ බයිඩන් හොරකම් කළා කියන ව්‍යාජ ප්‍රවෘත්තිය (Fake News) ප්‍රචාරය කළා. ආයෙමත් අපේ නරඹන්නන් ප්‍රමාණය 50%කින් ඉහළ ගිහින් දැන්වීම් ආදායම 50%කින් ඉහළ ගියා”.

මේ  කතාව අපේ රටේ මාධ්‍ය සිටුවරු නොකීවත්  ඔවුන්ද කරමින් සිටින්නේ එයයි. වෙනස තියෙන්නේ රූපට් මර්ඩොක් සිටුවරයා තමන්ගේ මාධ්‍ය ජාලය පෙනී සිටින්නේ  කවර දේශපාලන පක්ෂය වෙනුවෙන් ද කියලා ප්‍රසිද්ධියේ කියා සිටීම සහ ලංකාවේ මාධ්‍ය සිටුවරු එසේ නොකියා තෝරාගත් මතවාදයක, දේශපාලන පක්ෂයක ප්‍රකාශකයා වශයෙන් ක්‍රියා කිරීමයි. ඒ වෙනුවෙන් ව්‍යාජ ප්‍රවෘත්ති, දුස් තොරතුරුවලින් (Fake News, Disinformation, Misinformation, Mal information) ජනයාගේ මොළ සේදීමයි. “නිදහස් මාධ්‍ය”, “සමබර වාර්තාකරණය”, “සත්‍යය පළමුව” වගේ  ලේබල “ප්‍රවෘත්ති භාණ්ඩය” උඩින් අලවා ජනයා ගොනාට ඇන්ද වීමයි. වඩා උත්ප්‍රාසජනක කාරණය වන්නේ ජනයාද තමා ඇන්දෙන බව දැන දැනම ගොනාට ඇඳ ගැනීමයි.

ජනමාධ්‍ය නිදහස කියන්නේ මොකක්ද?

වඩා නිවැරදි යෙදුම ප්‍රවෘත්ති මාධ්‍ය (News Media) නිදහස කියන එකයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනයාට සියලු තොරතුරුවලින් සන්නද්ධව, පෞද්ගලික ජීවිතේ, වෙළෙඳ පොළේදී, ඡන්දපොළේදී නිවැරදි තීරණ ගැනීම අවස්ථාව ලැබෙන්න නම් ප්‍රවෘත්ති මාධ්‍යන්ට නිදහස අවශ්‍යයි.

ජනමාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති කාමරයේ (News Room) වැඩ කරන මාධ්‍යකරුවන්ට කිසිම බලපෑමක්, මැදිහත්වීමක් නැතිව වෘත්තීය ආචාරධර්ම, මාර්ගෝපදේශ (Code of practice) මත පමණක් පදනම්ව ප්‍රවෘත්ති එකතු කරන්නත්, ප්‍රවෘත්ති සංස්කරණය කරන්නත්, බෙදාහරින්නත් අවස්ථාව තිබීම (Editorial Independence) සහ තමන් කැමති ඕනෑම මාධ්‍යයකින් සමස්ත තොරතුරුවලට ප්‍රවේශ වීමට ජනයාට අවස්ථාව තිබීම ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස කියලා කියන්න පුළුවන්. මට හිතෙන්නේ තමන් කැමති මාධ්‍යයකින් තමන්ගේ අදහස් මත පළ කරන්න ජනයාට තියෙන නිදහස සහ අවස්ථාව ද  මීට ඇතුළත් වෙන්න ඕන.

ප්‍රවෘත්ති කාමරයේ (News Room) වැඩ කරන මාධ්‍ය සේවකයින් වෘත්තීය ආචාරධර්ම, මාර්ගෝපදේශ පිළිපදිනවා කියලා කියන්නේ ප්‍රවෘත්ති වල තිබෙන කරුණුමය සත්‍යය, නිවැරදි බව, අපක්ෂග්‍රාහිත්වය, අදාළ සංසිද්ධියට සම්බන්ධ සමස්ත කරුණු, සමස්ත පාර්ශවවල මතය ප්‍රකාශයට පත් වීමට ඉඩ සලසා තියෙන එක.

දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

ජනයාට මානව සංහතියේ යහපත වෙනුවෙන් දෛනික තීරණ ගැනීමට අවශ්‍ය කරුණුමය සත්‍යය, නිවැරදිබව, අපක්ෂග්‍රාහිත්වය, අඩංගු ප්‍රවෘත්ති වෙනුවට විනෝදය, සන්තුෂ්ටිය (pleasure) ලබාදෙන ව්‍යාජ තොරතුරු (Fake News, Disinformation, Misinformation, Mal information) ආදේශ වීමයි. අද මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති කාමර, ව්‍යාජ තොරතුරු නිපවන නිෂ්පාදනාගාර බවට පත්ව තිබෙනවා. වෘත්තීය ප්‍රවෘත්ති  මාධ්‍යකරුවා (Journalist) විනෝදය සපයන්නෙකු (Entertainer) බවට පත්ව තිබෙනවා. විනෝදාස්වාදය සම්පාදනය කරන අන්තර්ගතය මත පදනම්ව ජනයා තම ජීවිතය ගැන, අනාගතය ගැන තීරණ ගන්නවා. මෙම තත්ත්වය මානව සංහතියේ පැවැත්මට වගේම ප්‍රජාතන්ත්‍රවාදයටද බලවත් තර්ජනයක්.

ව්‍යාජ ප්‍රවෘත්ති සහ දුෂ් තොරතුරු

ව්‍යාජ ප්‍රවෘත්ති කියන්නේ දේශපාලන ප්‍රපංචයක්. දේශපාලනඥයින් හෝ ආණ්ඩුව තම මතවාදී හෙජමොනිය නඩත්තු කිරීම සඳහා ව්‍යාජ ප්‍රවෘත්ති අවියක් ලෙස යොදා ගන්නවා. තම ගජමිතුරු මාධ්‍ය සිටුවරයා හා එක්ව දේශපාලඥයන් දිනපතා ව්‍යාජ ප්‍රවෘත්ති නිෂ්පාදනය කර බෙදාහරිනවා. අද මේ මාධ්‍ය සිටුවරුන් අතරට සමාජ මාධ්‍ය සිටුවරු, හා අන්තර්ජාල මාධ්‍ය සිටුවරුන් ද එකතු වී සිටිනවා. දේශපාලඥයින්ට වගේම ඕනෑම පුද්ගලයෙකුට අත යට සිදුවන ගනුදෙනුවක් හරහා ඕනෑම ප්‍රවෘත්ති ප්‍රකාශයක් තමන්ට ඕන විදිහට සංස්කාරණය කර ජනයා ගොනාට අන්දන්න පුළුවන්. මෙතැනදී මාධ්‍යකරුවා කියන්නේ වැටුප් ලබන කම්කරුවෙක් (Media Laborer). වෘත්තීය ආචාරධර්ම, මාර්ගෝපදේශ (Code of practice) ගැන ඔහුට හිතන්න ඉඩක් නැහැ. මාධ්‍ය හිමිකරුවන් කියන දේ වඩාත් හොඳින් ප්‍රවෘත්ති අන්තර්ගතයට එකතු කරන මාධ්‍යකරුවන්ට වැඩි වරප්‍රසාද, තරුවක් වෙන්න අවස්ථාවේ සිට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක දක්වා යන්න පුළුවන්.

අන්තර්ජාල ප්‍රවෘත්ති සමාගම්, ප්‍රවෘත්ති වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාලා වගේම ජාතික රූපවාහිනී , ගුවන් විදුලි නාලිකාවල ද ප්‍රධාන ආදායම් මාර්ගය බවට ව්‍යාජ ප්‍රවෘත්ති පත්ව තිබෙනවා. ඔවුන් ව්‍යාජ ප්‍රවෘත්ති නිෂ්පාදනය සහ බෙදා හැරීම ගැන දැඩි තරගයක නියැලී සිටිනවා.   

මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක මාධ්‍ය හිමිකරුවන් වෙළඳ දැන්වීම්කරුවන්ට සහ ආණ්ඩුවට ප්‍රවෘත්ති කාමරයේ ප්‍රවෘත්ති නිෂ්පාදන ක්‍රියාවලිය තමන්ට ඕන විදිහට හසුරුවාගන්න හරි ලේසියි. මොකද වැටුප් ලබන මාධ්‍ය සේවකයා රස්සාව නැති කරගන්න, වැටුප්, වරප්‍රසාද අඩු කරගෙන තමන්ගෙ ජීවිතය අවදානමකට දාගන්න කැමති නැති නිසා.

ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනවල රහසිගත බව

ජනමාධ්‍ය ආයතනවල හිමිකාරිත්වයේ සහ ප්‍රවෘත්ති නිෂ්පාදන ක්‍රියාවලිය තුළ තිබෙන රහසිගතබව, ආවෘතබව, ගුප්තබව (lack of transparency) ව්‍යාජ ප්‍රවෘත්ති සහ දුස් තොරතුරු (Fake News) නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කර තිබෙනවා.

අන්තර්ජාල ප්‍රවෘත්ති සමාගම්වල, අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවිවල වගේම ජාතික මාධ්‍ය ආයතනවල හිමිකරුවන් කවුද? ඔවුන්ගේ දේශපාලන ගජ මිතුරන් කවුද? ඔවුන්ගේ වෙනත් ව්‍යාපාර මොනවද? ඒවායේ වැඩ කරන මාධ්‍යකරුවන්ට තියෙන සුදුසුකම් මොනවද? මාධ්‍යකරුවන් තිරය පිටුපස සිට කරන දේශපාලනය මොකක්ද? රටේ දේශපාලන සිදුවීම් ගැන විග්‍රහාත්මක නිගමන ඉදිරිපත් කිරීමට මාධ්‍යකරුවාට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද? ප්‍රවෘත්ති කාමරවල ඉන්න දේශපාලන දොරටු පාලකයන් කවුද? මාධ්‍ය ආයතනවලට ආදායම් ලැබෙන්නේ වෙළඳ දැන්වීම්වලින් විතරක්ද? වෙළඳ දැන්වීම් සපයන සමාගම් ප්‍රවෘත්ති අන්තර්ගතය තීරණය කරන්න බලපෑම් කරන්නේ ද? ප්‍රවෘත්ති වාර්තාකරණයේදී හා සංස්කරණයේ දී සමහර කරුණු සහ සමහර සිදුවීම් වාර්තා නොකළේ මන්ද? ප්‍රවෘත්ති තෝරාගැනීම සිදු කළේ කොහොමද?

විස අඩංගු පොල් තෙල් සමාගම්වල හා කිරිපිටි සමාගම්වල වෙළඳ නාම ප්‍රවෘත්තිවල සඳහන් නොකළේ මන්ද? ප්‍රවෘත්තියට මූලාශ්‍රයක් තිබුණද? මේ කියන්නේ කරුණුමය සත්‍යක්ද? එහෙම නැත්නම් කාගේ හරි මතයක් ද? මේ ගැන මත පළ කරන්න මේ පුද්ගලයාට තියෙන සුදුසුකම් මොනවද?

මේ සියල්ල ප්‍රවෘත්තිවල බලපෑමට ලක්වන ජනයා දන්නේ නැහැ.

ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා මාර්ග සිතියමක්

අද අප ජීවත් වෙන සමාජයේ බලවත්ම සමාජීය ආයතනය වන ප්‍රවෘත්ති මාධ්‍යවල විවෘතභාවය (Openness), වගවීම (Accountability) සහ වෘත්තිය භාවය (Professionalism) වගේම සමාජයීය කාර්යභාරය (Social Functions) ඉටුකිරීම සඳහා මාධ්‍ය ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අද වෙනදාටත් වඩා මතු වී තිබෙනවා. හැබැයි ඒ මාධ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කරන්නක් වෙන්න ඕන.

“ප්‍රවෘත්ති” “තොරතුරු” මහජන අවකාශයට (Public Sphere) අයිති දෙයක්. මෙතැනදි ප්‍රවෘත්ති කියන්නේ මහජනයා සතු පොදු දේපලක් (Public Good) වශයෙන් සැලකීම වැදගත්. ඒ නිසා ප්‍රවෘත්ති උපරිම මහජන යහපතට හේතු වන ආකාරයට නිෂ්පාදනය වීම ඉතාම වැදගත්. ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ ප්‍රවෘත්ති වෘත්තීය මාර්ගෝපදේශ (Code of Practice) භාවිතයට ගැනීම සහතික කිරීම, ප්‍රවෘත්ති මහජන පොදු දේපලක් ලෙස සැලකීමේ අනිවාර්ය සංඝටක.

අපේ රටේ ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා මාර්ග සිතියමක් ඕන. මේ සිතියම යථාර්ථයක් කරගන්න රජයේ, මාධ්‍ය හිමිකරුවන්ගේ, මාධ්‍යවේදීන්ගේ සංවිධානවල, සිවිල් සමාජයේ සහ මහජන දායකත්වය ලබාගන්න ඕන. එවැනි මාර්ග සිතියමකදී පහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත් කියලා මට හිතෙනවා;

ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනවල විවභාවය සහ වගවීම සහතික වන ආකාරයට වෘත්තීය මාර්ගෝපදේශ පමණක් (Code of practice) සංස්කාරකවරුන්ට භාවිතයට ගත හැකි වන පරිදි සංස්කරණ නිදහස (Editorial independence) තහවුරු වන ආකාරයට විද්‍යුත් මාධ්‍ය සම නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාව (Co- Regulatory Body), ජනයා තුළ තොරතුරු සහ මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ දැමීම (Information and Media Literacy), තොරතුරු සහ ප්‍රවෘත්තිවල නිවැරදි බව පරීක්ෂා කරන යාන්ත්‍රණ (Fact checking) සංවිධාන ශක්තිමත් කිරීම, වෘතීය මාධ්‍යවේදීන්ගේ සංගම් පිහිටුවීම (Professional Journalists’ Unions) සහ ප්‍රවෘත්ති මාධ්‍ය සුපරීක්ෂණ සිවිල් සංවිධාන පිහිටුවීම (Media Watchdog Groups).

මාධ්‍ය සම්බන්ධ තවත් ලිපි මෙතැනින්

Creative Content Consultants

3 thoughts on “ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන්

  1. Kasun kiwwa , Aristotle kiwwaaya kiyaa ” minisaa deasapaalanika sathwayek kiyala .
    Ohu ese kiwwath nethath eya eseamei .
    Namuth awaasanawa paalakayanta eya hariyaakaarawa notheriemaya .
    Paalakayan pathkoraganna minisuntath eya notherenne owunma udadamana paalakayo natana pissu anumatha karamin kate pittu usmuruththa vie athi bevinya .

  2. රූපට් මර්ඩොක් මෙහෙම කීවාද මම දන්නෙ නෑ, හැබැයි 2020 ඇමරිකානු චන්දය විවාදාත්මක නැත්තේ නෑ, අනික ඇමරිකාවේ කැතම මාධ්‍ය හැසිරීම කලේ CNN ආයතන්ය…

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: