බුක්ෆෙයා සිතුවිලි

අජිත් පැරකුම් ජයසිංහ

ළමයින්ට පොත් ප්‍රදර්ශනය බලන්න ඕනැ කිව්ව නිසා සර්ජරියෙන් පස්සෙ සුවවුණ දුව පෙන්නන්න දොස්තර හමුවෙන්න ගිය ගමන් ගියා. දවල් දෙකට කාර්පාක් ෆුල්. BMICH වටේ වට දෙකක් ගිහිනුත් ඇල්ටො කබල ඔබාගන්න තැනක් හොයාගන්න බැරිවුණා. පස්සෙ විජේරාම පාරෙ කිලෝමීටරයක් විතර එහා තැනකට අමාරුවෙන් ඔබලා පයින් ආවා.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සිංදු දෙකක් කියනවා බලපු එක තමයි කරපු එකම වැදගත් වැඩේ. පොත් නම් බැලුවෙත් නැහැ වැඩිය. ඔයිල් පැල්ලම ගෙදර ගෙනත් කියවන්න පටන් ගත්තා. වෙනස්.

අපට ඕවා ගැන උපදෙස් දෙන්න හැකියාව අඩුයි. හැබැයි, සංස්කාරක භූමිකාවේ වැදගත්කම අවබෝධ වෙනකල් ලංකාවෙ පොත් ප්‍රකාශනය සම්මාන සඳහා ඇප්ලිකේෂන් දැමිල්ලෙන් එහාට ප්‍රොෆෙෂනල් වෙන්නෙ නැහැ.

සම්මාන සඳහා පොත් ලිවීමේ හා කියවන බව ප්‍රදර්ශනය කිරීම සඳහා පොත් කියවීමේ ආසාව පාලනය කරගැනීම ජීවිතයේ ඉහළ අවධියක්. හැබැයි, මොන ආකාරයකින් හරි සමාජයට වැදගත් අත්දැකීම් හා දැනුම බෙදාගන්න. අඛණ්ඩව ප්‍රශ්න කරන්න. සංවාද කරන්න. සතුට සඳහා කියවන්න. පොත්පත්වල ඇති සියලු දේ ඇත්ත යයි විශ්වාස නොකරන්න.

පරිවර්තනය කරන සහතික ප්‍රින්ට් කරන්නයි, ඒවා දාලා දෙන්නයි ෆොටෝකොපි බංඩලේකුයි, ෆයිල් කවර මිටියකුයි ඕනැකරලා තිබුණත් ඒ කඩවලට කිට්ටුවෙන්න බැරි තරම් සෙනග.

ෆේස්බුක් එකේ කප් ගහපු පොත්, ප්‍රකාශන ආයතන, ලියන මහත්තුරු ඒ සෙනග අස්සෙ හරිම පුංචියි.

මං මිටි බැම්මක් උඩ වාඩිවෙලා උද්ඝෝෂණයෙ අප්ඩේට්ස් බැලුවා. ඒ අතර අතුරු සිදුරු නැතුව පිරුණු සෙනග නූඩ්ල්ස්, අයිස්ක්‍රීම් කකා සතුටින් හිටියා. උද්ඝෝෂණවලට එන අය වගේම තමයි, ඩෙක් ෂූස්, සඟා දාලා, ලස්සන විලාසිතාවල ඇඳුම් ඇඳලා. කැප්ස් දාලා.

බෙල්වුඩ් ආදි විද්‍යාර්ථීන් කියලා පිරිසක් තමන් ජාතික තරුණ සේවා සභාව නම් ඒ රාජ්‍ය සම්පතින් අතීතයේ ගත්ත ආතල් එක තලු මරමර රස විඳිමින් හිටියා ඒ හැන්දෑව පුරාම.

එක එක විදියෙ ප්‍රමෝදය. ඒ අතරෙ ආර්ථික අර්බුදය සාක්කු පතුල පහුරුගානවා. මං සතුටු වෙන්නෙ මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නට පුළුවන් සුළු කර්මාන්තකාරයෙකු වෙන හැටි ගැන කල්පනා කරමින්. සෙරෙප්පුව කැඩෙයිද කියලා පොඩි බයක් තිබුණා. සපත්තු රෙපෙයාර් කිරීම වුණත් නරක නැහැ දැන්. පසුගිය දවස්වල පරණ සපත්තු රෙපෙයාර් කරගන්නම රුපියල් දෙදාහක් විතර ගියා.