පැන්ෂන් ප්‍රශ්නය

අජිත් පැරකුම් ජයසිංහ

දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට 2016 වසරේ පැවැති ආණ්ඩුව තීරණයක් ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කර හෝ ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව, 2016න් පසු රාජ්‍ය සේවයට බැඳුණු අයට විශ්‍රාම වැටුපක් ඇත්තේ ද නැත. නැත්තේ ද නැත. ඔවුන්ගේ පත්වීම් ලිපි අනුව, “පත්වීම් විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තවද ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට හා වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුපට දායක විය යුතුය. රජය මඟින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් දායක මුදල් ගෙවිය යුතුය.”

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය ලැබිණි. මෙම යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවාගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වනු ඇත. ඒ අනුව රාජ්‍ය සේවකයෙකු සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් සියයට 8ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් සියයට 12ක් මාසිකව යෝජිත අරමුදලට බැරකළ යුතු වේ. යෝජිත දායකත්ව විශ්‍රාම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලයක් මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිතය.

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ගන්නා ලද මෙම තීරණය අතිශය වැදගත්ය. මේ වන විට රජයෙන් විශ්‍රාම වැටුප් ලබන සංඛ්‍යාව ලක්ෂ හයහමාරකට වැඩිය. ඒ සඳහා මාසයකට රු. බිලියන 25ක් පමණ රජය වැය කරයි. කොවිඩ් වසංගතය මැද මෙන්ම ආර්ථික අර්බුදය මැද පවා රජය විශ්‍රාම වැටුප් මෙන්ම රාජ්‍ය සේවක වැටුප් ද නිසි පරිදි ගෙව්වේය. රජය කරන ප්‍රධානම කාර්යය වන්නේ රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම යයි කීවාට වරදක් නැත.

උදාහරණයක් ‍ලෙස 2020 වසරේ රජයට ලැබුණු බදු ආදායම වූ රු. බිලියන 1216න් බිලියන 1052ක් විශ්‍රාමික හා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කිරීමට සිදුවිය. බදු ආදායමෙන් 87%කි. ඒ අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු ආදායමින් ඉතිරි වූයේ රු. බිලියන 164ක් පමණි. සෙසු කටයුතු සඳහා රජය දිගින් දිගටම කළේ ණය ගැනීමයි. දැන් එය සීමාවක් කරා ළඟාවී තිබේ. එහෙත්, විශ්‍රාම වැටුප අතිශය වැදගත්ය. එසේම, විශ්‍රාම වැටුප රාජ්‍ය සේවයට ඇති ආකර්ශනය වැඩිකිරීමට ද හේතු වී තිබේ. පසුගිය සතියේ මෙම ලේඛකයාට කොළඹ දිස්ත්‍රික්කයේ පාසලකදී හමු වූ ගුරුවරියක පැවසූයේ ඇය ගුරු වෘත්තියට පැමිණියේ කොටස් තැරැව්කාර සමාගමක රැකියාවකින් ඉවත් වී බවයි. වානිජවේදී උපාධිධාරිනියක් වන ඇය දැන් ප්‍රාථමික ගුරුවරියකි. විශ්‍රාම වැටුප් ලැබෙන සුරක්ෂිත රජයේ රැකියා වෙනුවෙන් මේ අන්දමින් කටයුතු කිරීම ශ්‍රම ඵලදායීතාව පමණක් නොව, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම පවා අපතේ යවයි. එහෙත්, විශ්‍රාම වැටුප් ක්‍රම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව නැවත සඳහන් කළ යුතුය.

2012 ජන හා නිවාස සංගණනය අනුව,  ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනගහණය සමස්ත ජනගහණයෙන් 12.7%ක් පමණ විය. වයස අවුරුදු 60ට වැඩි ජනගහණය 2025 වන විට දෙගුණයක් වනු ඇත.  ඒ අනුව, සමස්ත ජනගහණයෙන් හතරෙන් පංගුවක් හෙවත් සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙකු වැඩිහිටියෙකු වනු ඇත. වඩාත් ම සුවිශේෂ කාරණය වන්නේ, ‘වැඩිහිටියන් අතරත් වැඩිහිටියන්’ ලෙස සැලකෙන වයස අවුරුදු 80ට වැඩි ජනගහණය 2025 වන විට වර්තමානයේ සිටින සංඛ්‍යාව මෙන් පස්ගුණයක් වීමයි.

වර්තමානයේදී උපතේදී  සාමාන්‍ය ආයු අපේක්ෂාව කාන්තාවකට නම් අවුරුදු 78 කට වැඩිය. පිරිමියෙකුට එය අවුරුදු 72ක් පමණ වේ. සාමාන්‍යය අවුරුදු 76කට වැඩිය. මේ අතර ශ්‍රී ලංකාවේ ඵලදායී වියේ සිටින ජනගහණය අඩු වෙමින් තිබේ. සාමාන්‍යයෙන් තරුණයන් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 15-29 අතර ජනගහණයටයි.  වර්තමාන ශ්‍රී ලංකාවේ එම වයසේ ජීවත් වන ජනගහණය රටේ සමස්ත ජනගහණයෙන් 23%ක් පමණ වේ.  මෙම ප්‍ර‍තිශතය අඩු වෙමින් පවතින බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, රටේ ජනගහණයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වන විට අලුත් අභියෝග රැසක් අප ඉදිරියේ නිර්මානය වේ. පර්යේෂිකා නිශා අරුණතිලක අවුරුදු කීපයකට පෙර පෙන්වා දුන් පරිදි  ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් කුමන හෝ ආකාරයක විශ්‍රාම වැටුපක් ලබන්නේ 30%ක් පමණි. තවත් 18%කට දිළිඳු සහනාධාරය ලැබේ.

මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සමයේ මගේ සේවා ගිවිසුම අනුව මා ඔවුන් විසින් ලබාදෙන සමාජාරක්ෂක දීමනාව මවිසින් සොයාගත් විශ්‍රාම වැටුප් ගිනුමක ආයෝජනය කළ යුතු විය. මෙය එවැනි ආයතන විසින් තම ඩොලර් විශ්‍රාම වැටුපෙන් මෙන් ම දේශීය ඊපීඑෆ්, ඊටීඑෆ් ආදියෙන් ද සේවකයන්ගෙන් කොටසක් බැහැර කර ඇඟ බේරාගැනීම සඳහා අනුගමනය කරන කූට උපායකි. සේවා ගිවිසුමේ සඳහන් ඉහත කී අවශ්‍යතාව සඳහා මම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳ සොයා බැලුවෙමි. ඇත්තෙන් ම, සොයා බලන්නට තරම් විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම රැසක් මේ රටෙහි නැත. විවිධ බැංකු විසින් ලබාදෙන දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම තිබේ. එහෙත්, ඒ කිසිවකින්, විශේෂයෙන් ම ජීවිතයේ වයස්ගත ම අවධියේදී පුද්ගලයකු දිළිඳුභාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැපයෙන්නේ නැත. ඒවා බොහෝ විට ළමා ඉතිරිකිරීමේ ගිනුම් වැනි දිගුකාලීන ඉතුරුම් ගිනුම් වන අතර, රටේ පවතින උද්ධමනය අනුව අදාළ කාලසීමාව අවසානයේදී ගිනුමෙහි ඉතිරි වන මුදලට වටිනාකමක් තිබේද යන්න ගැටලුවකි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පෙන්ෂන් ප්ලස් නම් විශ්‍රාම වැටුප් දායකත්ව ඉතුරුම් ක්‍රමයක් හඳුන්වා දී තිබෙන මුත්, එහි දැන් ආකර්ශනීය පොළියක් නැත. පසුගිය රජය සමයේ හඳුන්වා දෙන ලද වැඩිහිටි ස්ථාවර තැන්පතුවලට ඊට වඩා ඉහළ පොළියක් ලැබේ. එහෙත්, එහි ආයෝජනය කළ හැක්කේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ය.

රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම නොමැති පුරවැසියන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහතික කිරීම වෙනුවෙන් ම රජය විසින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවා තිබේ. රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම් නොමැති තැනැත්තන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා විශ්‍රාම වැටුප් ලබා දීම, හදිසි අකර්මන්‍යතාවයන්හිදී හා මරණයේදී මූල්‍ය සහනය ලබා දීම සදහා , විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. එහෙත්, එහි කියුම් තරමට කෙරුම් තිබේදැයි පැහැදිලිව දැකගැනීමට තරම් සමාජ ආරක්ෂණ මණ්ඩලය ජනතාව අතරට ගොස් නැත. රාජ්‍ය ආරක්ෂාව ඇති දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රම ජනතාව අතර ප්‍රචලිත කිරීමට රජය කටයුතු නොකරන්නේ ඇයි ද යන හේතුව අපැහැදිලි ය.