නාකි මයිනො නැති අරගලවාදීන්ගෙ සමාජවාදී උතුරුකුරු දිවයිනේ කතාව

– අජිත් පැරකුම් ජයසිංහ

ජානගත හේතු නිසා වෙන්න ඇති මගේ කොණ්ඩෙ ඉදීම අවුරුදු 25දි විතර පටන් ගත්තෙ එළියකන්ද වධකාගාරයෙදි. ඒ කාලෙ රෙස්ටෝරියා ජාතියක් ආවා ගෑවාම කෙස් කළුවෙනවාය කියලා. පල් බොරුවක්. ඊට පස්සෙ ඩයි කරන්න පටන් ගත්තා. තැන් තැන්වල තමයි තිබුණෙ. කණ ගාව වගේ. බැන්දට පස්සෙ වයිෆ් තමයි ඒ වැඩේ කළේ. සති දෙකකට විතර පාරක් තමයි ඩයි කළේ.

පස්සෙ පස්සෙ මේක කරන කාලාන්තරය අඩු කරන්නට වුණා. ඒ වගේම සමහර ඩයි වර්ග අසාත්මිකයි. කොහොමත් ඩයි කරලා දවසක් දෙකක් යනකල් දැනෙන හෙනා ගඳ මට අපුලයි.

ඔය අතරෙ රැවුලත් ඉදුණා. රැවුල නම් ඩයි කළේම නැහැ. පස්සෙ කාලෙක කොණ්ඩෙ ඩයි කිරීමත් අතහැර දැම්මා. රස්සාව මාරු කරද්දි තමයි මේක කළේ. යූඑන් එකට ගිහින් ටික දවසකින් පරණ ඉස්කෝලෙ ගුරුවරුන් එක්ක ට්‍රිප් එකක් යන්න ආවා. සමහරුන්ට මාව හඳුනාගන්නත් බැරි වුණා.

අවුරුදු පනහ පනිනකොට කොණ්ඩෙ, රැවුල ඉදිච්ච තරම අනුව, ඒක දවස් තුනෙන් තුනටවත් කළු නොකළොත් පෙනුම රැකගන්න අමාරුයි. කොණ්ඩය වැවෙනකොට යටින් මතුවන සුද පෙනෙනවා. ඒ නිසා හිත හදාගෙන වැඩේ අල්ලලාම දැම්මා. දැන් නම් ඇහි බැමත් ඉදෙන්න පටන් අරගෙන. දැන් මට 58ක්.

වයස අවුරුදු 40දි විතර වගේ මගේ රැවුල ටිකක් ඉදිලා තිබුණා. එක් විවාහ මංගල්‍යයකදී මට මගේ පැරණි ගුරුවරියක් හමුවුණා. මං ඇගේ ටියුෂන් පන්තියකට යනකොට ඇයට වයස අවුරුදු 25 ආසන්නයේ ඉන්න ඇති. මට නැවත ඇය හමුවෙනකොටත් ඇය සුන්දර රූසපුවකින් යුක්ත වුණා. මට වඩා අවුරුදු හත-අටක්වත් වයසින් වැඩි ඇති.

මං කිව්වා මං ඇගෙන ඉගෙනගෙන තියෙන බව. ඇය අප්සෙට් ගියා. කොච්චර අප්සෙට් ගියාද කියනවා නම්, පැය කීපයකට පස්සෙ වෙඩිං එකේ අන්තිම හරියෙදි ඇය නැවත මට කීවා, “අරක නම් කීයටවත් වෙන්න බැහැ,” කියලා. එතැන් සිට මං කිසිම ගුරුවරයකුට/ ගුරුවරියකට මං ඒ තැනැත්තාගෙන් ඉගෙනගෙන තියෙන බව කියන්න ගියේ නැහැ.

අපි ඇයි මේ කොණ්ඩෙ, රැවුල ඉදෙනවාට බය? වයසට යන එකට බය නිසාද? අපි හිතනවා කොණ්ඩෙ, රැවුල ඉදුණාම අපි කැතයි කියලා. පුදුමෙ කියන්නෙ බෝ නොවෙන රෝගවලට ඒ බය නැති එක. නිදන්ගත බෝ නොවෙන රෝග තියෙන අය පවා කොණ්ඩෙ ඉදුණු කෙනාට නාකියා කියන එක. අනෙක් කාරණය තමයි, තට්ටෙට එච්චර බය නැති එක. තට්ටෙ පෑදුණොත් මුළු කොණ්ඩෙම බූගාලා ස්ටයිිලිෂ් වෙන්න පුළුවන්.

2022 අවුරුද්දෙදි මේ නාකි විරෝධය උපරිමයකට ගියා. මාක්ස්වාදී, වාමාංශික, ලිබරල්, අරාජිකවාදී කැරැලිකරුවන් වියපත් අයට නාකියා, මයිනා වගේ වචන භාවිතා කරන්නටත්, ඒ පරම්පරාවේ මරණය වෙනකල් රට හදන්නට බැරිය වගේ කතා කියන්නටත් පටන් ගත්තා.

මේ සටහන ලියන මට පස්සෙ කාලෙක ඉපදීම හැර අන් කිසිදු විශේෂත්වයක් නැති පිරිස් මටත් නාකියා කියන වචනය භාවිතා කරමින් බනින එක සුලබ වුණා. මේකට හේතුව මොකක්ද? මං හිතන්නෙ මේ අරගල සමාජවාදීන්ගේ පරමාදර්ශී රාජ්‍යයේ හෙවත් ඔවුන්ගේ පාරාදීසයේ හෝ උතුරුකුරු දිවයිනේ මිනිසුන්ගෙ කොණ්ඩා ඉදෙන්නෙ නැහැ. නැතිනම්, මිනිසුන් නාකි වෙන්නෙ නැහැ. නාකි වෙන මිනිසුන්ව විනාශ කරනවා වෙන්නත් පුළුවන්.

ගෘහ පුස්තකාල සංගමයේ ෆේස්බුක් සාමූහිකය තුළ බෙදාගත් පැරණි පොතක කවියකින් මේ ප්‍රශ්නයේ ඉතිහාසය තරමක් දුරට විහිදෙන බව සොයාගන්නට ලැබුණා. ඉතා පැරණි පුස්කොළ පොතකින් ගෙන 1932දී මුද්‍රණයෙන් පළකරන ලද ‘උතුරුකුරු දිවයින් විස්තරය’ නම් පොතේ කවියක් තමයි පහත පළවෙන්නෙ.

“දැළි ඉස් කවදාවත් නොපැසෙන්නේ
මෙලෙස් රුවින් දිලිහී බබළන්නේ
සොළොස් වයස් පිරි සලෙලුන් වැන්නේ
වයස් ගියා නොදැනේ මිනිසුන්නේ”

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන උතුරුකුරු දිවයින ගැන බුදුසරණ පුවත්පතේ පළවූ ශාස්ත්‍රවේදී අනිල් කරුණාරත්න ලියූ ලිපියක මෙලෙස සඳහන් වෙනවා:

ආටානාටිය සූත්‍රයට අනුව උතුරුකුරු දිවයිනේ සැටි මෙසේ ය.

උතුරු කුරු දිවයින ඉතා දැකුම්කලු ය. මෙහි අධිපති වෛශ්‍රවණ නම් කෙනෙකි. ඔහු යක්‍ෂයෙක් පමණක් නොව යක්‍ෂාධිපතිවරයෙකි. මෙහි අමුතු ජනතාවක් සිටිති. මිනිස්සු ද යක්කු ද සිටිති. මහාමේරු පර්වතයට උතුරු දිශාවෙහි පිහිටා ඇති මෙහි, මමත්වය නැති, ස්ත්‍රීන් කෙරෙහි පිළිගැන්මක් නැති මිනිස්සු උපදිති. අගනුවර ආලකමන්දාවයි.

මෙහි මිනිසුන් බත් කන්නේ කුඹුරු නොකර ය. කුඹුරු තිබුණ ද සී සෑමක් නැත. නගුල් කෙතට නොපමුණුවයි. ධාන්‍ය බිජුවට වැපිරීමක් ද නැත. නමුත් කුඹුරු වල තනිවම නැගී වැඩෙන පොත්තත් නැති ස්වංජාත සහල් ය. මේවාහි බත් ඉතා සුවඳ ය. මිනිස්සු ඒවා බෙදාගෙන වලඳති. මෙහි යකුන් ද පුදුම ය. සියලු යකුන් වෛශ්‍රවණ යක්‍ෂ රාජයාගේ පිරිවර වන අතර “ගාවිං ඒකඛුරං කත්වා අනුයන්ති දිසෝ දිසං” යන ක්‍රමයට යක්කු එළදෙනුන්ගේ පිට නැග දිසාවෙන් දිසාවට යති. සමහරු ස්ත්‍රියක ගේ කර නැගයති. තවත් සමහර විටක කුමරියකගේ කර නැග යති. යකුන්ගේ වාහන ඒවා ය.

වෛශ්‍රවණයාගේ පිරිවර භට සේනා හස්තියාන, අශ්වයාන වගේම, දිව්‍යයාන වලින් ද සමන්විත වෙයි. මෙකී යානාවෝ සියලු දිසා සිසාරා යති.

වෛශ්‍රවණයාට මහා ප්‍රාසාද ද සිවිගෙවල් ද ඇත්තා සේම, ‘ජනෝඝ’ නම් නුවරක් ද ‘නවනවවතිය’ නම් නුවරක් ද ‘අම්බර අම්බරවතිය’ නම් නුවරක් ද ආලකමන්දා නම් රාජධානිය ද ඇත.

වෙස්සවණ යක් රජුට තතෝලා, තත්තලා,ඕජසි, තේජසි, තතෝජසි යන මාර්ග බාධක සෝදිසි බලකායක් ද සිටියහ.

උතුරු කුරු දිවයිනේ අගනුවරට වැසි අවශ්‍ය වූ විට පොකුණකින් දිය අහසට නැගී වැසි වසින්නේ ය. එම පොකුණ “ධරණී” නම් ජලාශය යි. ඒ පොකුණේ පොකුණු තෙර තනා ඇති ‘භගලවතී’ නම් වූ රන් මඩුවක සිට දිවා රැයේ පොකුණ රකිනා යක් පිරිසක් ද වෙති.

මේ පොකුණු තෙර ඵල බර වන විවිධ වෘක්‍ෂයෝ වෙති. ඒවාහි විවිධ පක්‍ෂීන් සිටින අතර, මොනරු, කොස්වාළිහිණි සහ කෝකිලයෝ මනා වූ නාද පවත්වති.

උද්‍යානය අසල වූ අමුතුම පියුම් පොකුණක් ද ඇත.

එහි ‘ජීවං ජීවක සද්දෙත්ථ’ යනුවෙන් හඬ නඟන පක්‍ෂි විශේෂයක් ද දණ්ඩ මානවක නම් කොක්කු විශේෂයක් ද, රන්වන් කකුළුවෝ ද ඇත. මෙහි හාත්පසින් වටකොට එන සැළලිහිණි ගිරා හඬ ද මියුරු ය.

මෙසේ යසස් ඇති මෙම උතුරු කුරු දිවයින කුවේර යක්‍ෂාධිපතියාගේ පාලන ප්‍රදේශයයි. ඔහු මෙවැනි යකුන්ගෙන් මෙන්ම සුන්දර වූ වටා පිටාවෙන් ද පිරිවරන ලදුයේ නෘත්‍ය ගීතයෙහිම සිත් අලවා වෙසෙන්නේ ය.

මෙම විස්තර කුවේරයාගේ මුවින්ම කියන ලදැයි ආටානාටිය සූත්‍රයෙහි සඳහන් වෙයි.