quarantine

කොරෝනා බලාගන්නට ගිහින් වෙච්ච දේ

වෘත්තීය සංචාරක මාර්ගෝපදේශකවරයකු විසිනි

මං බලපත්‍ර තියෙන සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙක් (Tour Guide Lecturer). පසුගිය දිනවල ඉතාලි සංචාරකයෙකුගෙන් කොරෝනා වයිරසය ආසාදනය වුණ සංචාරක මාර්ගෝපදේශකවරයා නැවතී සිටි කණ්ඩලමේ අමායා හෝටලයේ අපට වෙන් කර තිබෙන නිවස්නයේ මාත් දිනක් නැවතී සිටියා. ඉන් පසුවත්, මා සංචාරක කණ්ඩායමක් එක්ක කාරයෙන් ගමන් කළා.

කොරෝනා ආසාදනය ගැන අපේ කණ්ඩායම් අතර විශාල හාහූවක් ඇති වෙලා. මගේ බොසුත් කිව්වා, රෝහලකට ගිහින් පරීක්ෂා කරගන්න ය කියලා. මාත් හිතුවේ අප වැනි සැක අයට පරීක්ෂා කරගන්නට පහසුකම් එහි තිබෙනවා ය කියායි. ඒ නිසා මාත්, මගේ සංචාරක මාර්ගෝපදේශ යහළුවෙකුත් අද (මාර්තු 17) ප.ව. 2.15ට ගම්පහ රෝහලට ගියා. මුව ආවරණ සොයාගත නොහැකි නිසා මා ලේන්සුව බැඳගත්තා. මගේ යහළුවා සොයාගෙන පැමිණි මුව ආවරණයක් ඔහුගේ අතේ තිබුණා.

අපි ඉදිරිපස පිළිගැනීමේ කවුන්ටරයට ගියා. එතන හෙදියන් සහ සාරි ඇඳගත් තවත් අයත් සිටියා.

“ඇයි?”

“අපි ආවෙ කොරෝනා පරීක්ෂා කරගන්න.”

“ඇයි ඒ?”

“අපි ටුවර් ගයිඩ්ලා.”

ඒක ඇහුණා විතරයි, අර නෝනලා ටික වහා කලබල වුණා. හෙදියක් අපට කෑගසන්නට පටන් ගත්තා.

“එහාට වෙන්න, එහාට වෙන්න. කවුන්ටරේ අල්ලන්න එපා. ඔය මාස්ක් දාගන්න. මෙතනට එන්න එපා. අපටත් බෝකරන්න ද හදන්නෙ?”

“ඇයි මිසී අපට කෑගහන්නෙ? අපට කොරෝනා නැහැ. අපි ආවෙ පරීක්ෂා කරගන්න ය කියන නිසා අනෙක් අයගේ හොඳට. අපට ඔහොම කතාකරන්න එපා.”

ඒ පාර ඒ නෝනලා ටිකක් පාලනය වුණා. “අර කාමරේට යන්න එහෙනම්.”

අපි පැත්තකින් තිබුණු කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කළ බව කී කාමරයට ගියා.

අපි ඒ කිව්ව කාමරේට ගියා. කවුරුවත් අප ළඟටවත් ආවෙ නැහැ.

“එයාලට පරීක්ෂා කරගන්න ඕනැ කියනවා,” වගේ අරවා මේවා කතා පසුබිමින් ඇහුණා.

ටිකකින් දොස්තර කෙනෙකු ඇවිත් අපට අඩි දහයකටත් වඩා දුරින් සිටගත්තා.

“ඔයගොල්ලන් මොකද?’

මං නැගිට්ටා.

“හා, හා! නැගිටින්න එපා. ඔහොමම ඉන්න. ළඟට එන්න එපා.”

අපි විස්තරේ කිව්වා. “අපි ආවෙ පරීක්ෂා කරගන්න කියන නිසා.”

“මෙහෙ එහෙම පරීක්ෂා කිරීමක් නැහැ. ඒ බොරු. ඕවට අහුවෙන්න එපා. අපි කරන්නෙ රෝගීන් ය කියලා සැක හිතෙන අයව ඇතුළත් කරගන්න එක විතරයි. ඔයගොල්ලන් උඩට යන්න එපා. එතනින් ඔයගොල්ලන්ටත් බෝවෙයි. මෙහෙ පරීක්ෂාවක් නැහැ. ඔයගොල්ලන් ආපහු යන්න.”

අපි යන්නං කියලා ආවා. එතන අත් සෝදාගන්නට පහසුකම් නම් තිබුණා. ඒ නිසා අපි එන්නට කලින් අත් සෝදාගත්තා. ඒ කාමරේ අපට කලින් කොරෝනා රෝගීන් සිටියාද කියලා කවුද දන්නෙ?

අප කළ යුතු දේ ගැන කිසිම උපදෙසක් දුන්නෙ නැහැ. උපදෙසක් දෙන්න කවුරුවත් ළං වුණෙත් නැහැ. ඔන්න කොරෝනා සම්බන්ධයෙන් අපේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වෙන හැටි.

අපි ආපහු ගෙදර ආවා.

මෙවැනි අයට සෞඛ්‍ය ආමාත්‍යාංශය දෙන උපදෙස් මොනවාදැයි අපි සොයා බැලුවෙමු. සැකයක් තිබෙන අය නිවසේදී නිරෝධායනය සිදු කරගත යුතු අතර එය කිරීමේදී පහත දැක්වෙන උපදෙස් පිළිපදින්න. (සංස්කාරක)

  1. හැකිනම් නිවසේ වාතාශ්‍රය සහිත වෙනම කාමරයක රැඳී සිටින්න.
  2. පවුලේ සාමාජිකයන්ගෙන් අඩු වශයෙන් එක් මීටරයක් හෝ දුරින් ඉන්න.
  3. පවුලේ අනෙක් සාමාජිකයන් වෙනම නාන කාමරයක් භාවිතා කරන්න. හවුලේ පාවිච්චි කරනවා නම්, පාවිච්චියෙන් පසු කරාම, දොර බෝල ආදිය සබන් යොදා පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය ය.
  4. නිවසට අමුත්තන් පැමිණීම සීමා කරන්න. ආසාදිත යයි සැක සහිත පුද්ගලයා අමුත්තන් හමුවට යන්න එපා.
  5. නිතර දෑත් සෝදන්න. සබන් හා වතුරෙන් තත්පර 20ක් හෝ අත් සෝදන්න. නැතිනම් මධ්‍යසාර පදනම් වූ දෑත්වල විෂහරණය කිරීමේ ද්‍රාවණයක් පාවිච්චි කරන්න.
  6. නොසේදූ අත්වලින් ඇස්, නාසය සහ මුඛය අල්ලන්න එපා.