corona syrup

කොරෝනා නසන පැණියේ තිරය පිටුපස කතාව

එක පැත්තකින් කොරෝනා සුවකරන බව කියන පැණිය හැදූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර සොයා ගොස් ඔහුගෙන් පැණිය ලබාගැනීමට රැස්කන මිනිසුන්ය. අනෙක් පැත්තෙන් එම පැණියේ විද්‍යාත්මකබව, එහි සාර්ථකත්වය පරීක්ෂා කළ ක්‍රමවේදය, එහි ප්‍රතිඵලවල සත්‍ය අසත්‍යභාවය හා එය හැදූ පුද්ගලයාගේ සුදුසුකම් ප්‍රශ්න කරන පුද්ගලයෝය. ශ්‍රී ලංකාව මෙසේ දෙකට බෙදී ඇත.

මෙම බෙදුම්කඩනය 2019 ජනාධිපතිවරණයේදී බයි ටොයි වශයෙන් සිදු වූ විභේදනයට වෙනස් එකකි. විද්‍යාව විශ්වාස කරන බයියෝ පවා පැණියට විරුද්ධය. ඒ අතර පැණිය විශ්වාස කරන ටොයියෝ ද වෙති.

Translations by Creative Content Consultants

මේ පැණි සීන් එක පිටුපසින් මහා ඉතිහාස කතාවක් තිබේ. එසේම, ගැඹුරු දාර්ශනික කතිකාවක් ද තිබේ.

ඉතිහාස කතාව නම්, බටහිර වෛද්‍ය ශාස්ත්‍රය ලොව පුරා පැවති විවිධ වෛද්‍ය ශාස්ත්‍රයන් අභිභවා ඉදිරියට පැමිණීමේ කතාවයි. එම සාර්ථකත්වය පසුබිමේ වූයේ බටහිර විද්‍යාවේ දියුණුවයි.

ලෝකයේ සෙසු වෛද්‍ය ශාස්ත්‍රයන් පිළිබඳ අප දන්නේ නැත. එහෙත්, ශ්‍රී ලංකාවේ තිබෙන වෛද්‍ය ශාස්ත්‍රයන් පිළිබඳ අපට යම් අවබෝධයක් තිබේ. ඒ කිසිවක් බටහිර විද්‍යාවට ළංවන්නේ නැත. ඒ හැම එකක් සමගම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, නිමිති, කෙම්, ජ්‍යෝතිෂය, භූත විද්‍යා, කර්මය හා හාස්කම් පිළිබඳ කතන්දර ආදිය සම්බන්ධය. ඒවා බටහිර විද්‍යාවෙන් පරීක්ෂා කර බැලීමේ කිසිම තේරුමක් නැත. එහෙත්, එක් වකවානුවකදී බටහිර වෛද්‍ය ශාස්ත්‍රය හා විද්‍යාව උගත් පිරිස් මෙවා පරීක්ෂා කර ඒවායේ විද්‍යාත්මක පැතිකඩ පෙන්වාදීමට උත්සාහ කළහ. උදාහරණයක් ලෙස, කෙනෙකුට අවශ්‍ය නම්, මුත්‍රාවල රසායනික සංයුතිය ඇසුරෙන් සර්ප විෂට මුත්‍රා පෙවීමේ විද්‍යාත්මකභාවය පිළිබඳ යම් දෙයක් පැවසිය හැකිය. එහෙත්, නයි විස වැනි උග්‍ර විසකට මෙවැනි වෛද්‍ය කර්මවල සාර්ථක ප්‍රතිකර්ම නැත. එවැනි අවස්ථාවලදී තිබෙන්නේ කතාන්දරවල පිහිටය. උදාහරණයක් ලෙස නයි විසෙන් මිය ගියා යයි සැලකූ අය සිහිමූර්ඡා වී සිට රුක්අත්තන පෙට්ටියක දමා වල දැමූ විට, රුක්අත්තන ලෑලිවලින් නයි විස උරාගෙන මිය ගිය මිනිසා සුදු ඇඳුම් පිටින් ආපසු ගෙදර ආ කතා මළගෙදරදී කිව හැකිය. දේශීය යයි කියන මෙම වෙදකම්වලදී මෙම කතාන්දර ද අතිශය වැදගත්ය. බොහෝ විස්කම් කළ වෙද්දු අතීතයේ සිටි බව කියනු ලැබේ. ඔව්, ඉස්සර.

මේ වෙදකම් ජීවිතය තරමටම මරණය හා විඳවීම සමගද සම්බන්ධය. ලෙඩුන්ට වේදනා දීම මෙම වෙදකම්වල ප්‍රධාන ලක්ෂණයකි. උදාහරණයක් ලෙස, මානසික රෝගීන් සුවකිරීම සඳහා පහර දෙන ලදී. අද පවා මරදන්කඩවල ඇට වෑල්ඩිං කරන වෙදා රෝගීන්ගේ අවයව දැඩිව බැඳ අධික වේදනාවට ලක්කර වේදනාවෙන් මිදුණු පසු දැනෙන සුවය සනීප වීමේ ලක්ෂණයක් බවට රෝගියා තුළ විශ්වාසය ඇති කරයි. මේවායේ තිබෙන විද්‍යාවන් ඔය ආකාරයේය. ඒවා ගැන බටහිර විද්‍යාවෙන් විමසීම කිසිම තේරුමක් නැති වැඩක් බව නැවත කියමි.

බටහිර වෛද්‍ය විද්‍යාව වනාහි මරණය හා වේදනාව සමග අරගලයකි. එහෙත්, මේ දෙකම සදාතනිකව ජයගන්නට බැරිය. මිනිසාගේ මෙන්ම සෙසු සියලු සතුන්ගේ ද පැවැත්ම යනු නැසීම සමග කරන අනවරත අරගලයකි. පැවැත්ම ජයගත් විට එම සත්ව වර්ගය පවතිනු ඇත. නැසීම ජයගත් විට නැසෙනු ඇත. නැසීම ජයගැනීම යනු එතරම් පුදුමයට පත්විය යුතු දෙයක් නොවේ. එය බොහෝ ‘විකල්ප’ දැක්මවල සාමාන්‍ය දෙයකි. එහෙත්, බටහිර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව මෙන්ම, සංවර්ධන විද්‍යාව ද පැවැත්මේ හා නැසීයාමේ මෙම ස්වාභාවිකත්වය තියුණු ලෙස අභියෝගයට ලක්කරයි.

මිනිසාගේ උපතේදී ආයු අපේක්ෂාව වර්ධනය වීමට හේතු වූයේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුවයි. ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79කි. පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි. මීට සියවසකට පෙර මෙම අගයන් පැවතියේ මෙයින් දෙකෙන් පංගුවක පමණ මට්ටමේය. එකල කිසිවකු වයස අවුරුදු 72ක්, 79ක් ජීවත් නොවූ බවක් එයින් අදහස් වන්නේ නැත. එහි තේරුම නම්, එකල මාතෘ, නවජාත බිළිඳු හා ළමා මරණ අනුපාතිකය ඉතා ඉහළ බවයි.

ලංකාව දේශීය යයි කියන විවිධ වෙදකම්වලට සීමා වී සිටියා නම්, අපේ රටේ මාතෘ මරණ, නවජාත බිළිඳු හා ළමා මරණ පමණක් නොව, සර්ප දෂ්ටනය වැනි හේතු මත මියයාම පවා ඉතා ඉහළ මට්ටමක පවතිනු නියතය.

එහෙත්, බටහිර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, දැනුම පිළිබඳ විද්‍යාව, දර්ශනය, සංස්කෘතිය ආදී මේ සියල්ලම බටහිර යටත්විජිතවාදය, නව යටත්විජිතවාදය, නව ලිබරල්වාදය ඇතුළු බටහිර ආධිපත්‍යවාදයන් සමග සම්බන්ධය. බටහිර ආධිපත්‍යවාදය යනු අපගේ දේශීයත්වයේ පරාජයයි.

බටහිර ආධිපත්‍යවාදයට යටත් වූ පළියට අපගේ ජීවිත සාර්ථක වුණාද? ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. අපේ වර්තමාන කාලකණ්ණිකමට හේතුව බටහිර විසින් අපට පැටවූ දේ යයි සිතීම ලෙහෙසිය. පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග්‍රීසීන් නොආවා නම් අපට මීට වඩා සාර්ථක ජීවිත අත්පත් වනු ඇතැයි ද එසේ වී නම් මෙසේ වනු ඇතැයි පරිකල්පනය කරගැනීම ද වර්තමාන කටුක යථාර්ථයට මුහුණදීමට වඩා ලෙහෙසිය. අතීතය ගැන මෙම පරිකල්පනයන් තුළ අපට සුන්දර ලෝකයක් හමු වේ. එහි බුද්ධදාස පරපුරේ වෙදකම් ද, අංගම්පොර ද, හාස්කම් ද, යෝධයෝ ද, වීරයෝ ද, ඉසිවරු ද, තවත් බොහෝ විස්මිත, සුන්දර දේ ද අපට හමු වේ. අතීතකාමී ඉතිහාසය ද, ප්‍රබන්ධ සාහිත්‍යය, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා ආදිය ද අතර වෙනසක් නැත.

නව කොරෝනා වයිරසය හමුවේ ලෝකය ම අසරණ විය. බටහිර විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව එවැනි ගෝලීය වසංගතයකට ලෝකය සූදානම් කර තැබීමට අසමත් විය. එහෙත්, ඖෂධ හා නිවාරණ එන්නත් ආදිය සොයාගැනීමට බටහිර විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව යුහුසුළු විය.

එකී මාර්ගය ඔස්සේ කිසිවක් කරන්නට තරම් අප දියුණු නැත. එසේය කියා අප නිකම් සිටිය යුතුද? අපගේ පරාධීනත්වය හා අසාර්ථකත්වය මත පදනම් වූ ජාතික චින්තනය නම් තියරියක් අපට තිබේ. කොරෝනා පැණිය පසුපස තිබෙන දාර්ශනික කතාව එයයි. ඕනෑම දේශීය බඩකඩිත්තුවක් යුක්තියුක්ත කළ හැකි දාර්ශනික මෙවලමක් ජාතික චින්තනයෙන් සොයාගත හැකිය.

ජාතික චින්තනය අවසානයේදී මහින්ද චින්තනය හරහා සෞභාග්‍යයේ දැක්ම බවට පත්වී තිබේ. ජාතික චින්තනයෙන් රට පාලනය වූ දශකය තුළ යුද්ධය ජයගැනීම හැර වෙනත් ජයග්‍රහණ නැත. නිදහසින් පසු ඉතිහාසයේ අවාසනාවන්තම කාලයට රට පාලනය කරන්නට පත් වූ අය ඔවුන්ගේ චින්තනය අනුව නම් මහත් අවාසනාවන්තයෝය. එහෙත්, ඔවුන්ගේ අවාසනාව රටේත් අවාසනාවයි. මෙම යුගයේ රටට කිසිදු යහපතක් ලබාදීමට පාලකයෝ අසමත්ය. එහෙයින් ඔවුන්ට හැකිවන්නේ කොරෝනා නිට්ටාවට සුවකරන දේශීය පැණි වැනි තාවකාලික හාස්කම්වලට රාජ්‍ය අනුග්‍රහය දක්වන්නට පමණි.

කිසිදු ඵලදායී දැක්මකින් හෝ භාවිතාවකින් තොරව, බටහිරට විරුද්ධ වන්නට පමණක් න්‍යායන් සම්පාදනය කරන, ඒ චින්තනයන්ගේ මෝහාන්ධකාරයේ ගිලී අඥාන නායකයන් පසුපස කුරගාන, පුරවැසියන් නොවන හිස් මිනිසුන්ගෙන් පිරි සමාජයකට බටහිර විද්‍යාවට, දැනුමට, දර්ශනයට හා වෛද්‍ය ශාස්ත්‍රයට අභියෝග කළ හැක්කේ මෙවැනි මනස්ගාතවලින් පමණි.