New Birth Certificate format

අනන්‍යතා වංචනිකයකුට අවශ්‍ය පරිදි හැදෙන ජාතික උප්පැන්න සහතිකය

උප්පැන්න සහතිකයේ ආකෘතිය සැබැවින් ම වෙනස් කර තිබෙන ආකාරය විසුළු සහගත ය. එහි දැන් ජාතිකත්වය හෙවත් nationality යනුවෙන් හැඳින්වෙන දෙයක් ද ජන වර්ගය හෙවත් ethnic group නම් දෙයක් ද ඇතුළත් වේ. ජාතිකත්වය යන්න ශ්‍රී ලාංකික ද, ජන වර්ගය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් ද වන්නට පුළුවන.

Translations by Creative Content Consultants

ජාතික උප්පැන්න සහතිකය යන නමින් හැඳින්වෙන සහතිකයක නැවත වතාවක් ජාතිය ශ්‍රී ලාංකික යයි සඳහන් විය යුතු ද? මෙය අනවශ්‍ය සංකීර්ණතාවක් නොවේ ද? මව හෝ පියා විදේශිකයකු වුවත්, දරුවා ශ්‍රී ලාංකික නම්, මවගේ හෝ පියාගේ ජාතිය දරුවාගේ උප්පැන්න සහතිකයේ සඳහන් කළ යුතු ම ද?

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජනවාර්ගික අනන්‍යතා මිස ජාතික අනන්‍යතාව වැදගත් නැති බවක් මෙයින් අදහස් වේ. එසේම, මිශ්‍ර විවාහවලදී ජනවර්ගය කුමක් ද යන්න තීරණය කරන්නේ කුමන පදනමින් ද? ජනවර්ගය තීරණය කරන්නේ පියාගේ ජනවර්ගය අනුව නම්, එය ඉතා පැහැදිලිවම ස්ත්‍රීන්ට වෙනස්කම් කිරීමකි.

සිංහල, දෙමළ, මුස්ලිම් යන අනන්‍යතාවලට අදාළ වන්නේ භාෂා හා වෙනත් සංස්කෘතික සාධකයි. සිංහල ජනයා සිංහල භාෂාව මව්බස ලෙස සලකති. දෙමළ ජනයා දෙමළ මව්බස ලෙස සලකති. ලංකාවේ මුස්ලිම් ජනයා සාමාන්‍යයෙන් දෙමළ බස කතා කරන අය මුත්, ඔවුන්ගේ ජන වාර්ගික අනන්‍යතාව සමග දෙමළ භාෂාවේ ගැඹුරු සම්බන්ධයක් නැත. මුස්ලිම් අනන්‍යතාව සමග වැඩිපුර සම්බන්ධ වන්නේ ආගමයි. ඉස්ලාම් ආගම අතහැර දැමූ පුද්ගලයකු මුස්ලිම් ජාතිකයකු ද? උප්පැන්න සහතිකයේ මුස්ලිම් යයි සඳහන් වූ පමණින් යමෙකු මුස්ලිම් වේ ද?

එසේම, ඉස්ලාම් ආගම වැළඳ ගන්නා අය නම වෙනස් කරගනිති. එවැනි අයගේ දරුවන්ගේ අනන්‍යතාව තීරණය කරන පදනම කුමක් ද?

මෙය සම්පූර්ණ මළ විකාරයකි. ජන වාර්ගික අනන්‍යතාව යනු වෙනස් වන, වෙනස් කළ හැකි දෙයක් මිස වෙනස් කළ නොහැකි අන්දමින් නීතිගත කළ යුතු දෙයක් නොවේ.

ජනවාර්ගික අනන්‍යතා පවතින්නේ සංස්කෘතිය තුළ ය. එසේ පැවතීමේ කිසිදු ගැටලුවක් ද නැත. එතනින් එහාට එය අදාළ කර ගැනීම ආපසු යාමකි.

මේ රට යන්නේ ආපස්සට ය. මෙහෙම ගියොත්, යම් දවසක කුලය පවා නැවත උප්පැන්න සහතිකයට ඇතුළත් විය හැකි ය.

උප්පැන්න සහතිකයේ සිදු කරන්නට ගිය ප්‍රගතිශීලී සංශෝධනයක් වෙනස් කරන්නට හේතු වූයේ උප්පැන්න සහතික සහ ගමන් බලපත්‍ර සම්බන්ධ වැරදි සිදු කළ බවට චෝදනා ලැබ සිටින විමල් වීරවංශගේ මැදිහත් වීමකි. විමල් වීරවංශ අඩු තරමේ තමන්ගේ උප්පැන්න සහතික හෝ බලා නැත. උප්පැන්න සහතිකයේ ආගම ද සඳහන් වන බව ඔහු කියයි. එය පල් බොරුවකි.

උප්පැන්න සහතිකයේ ආගම සඳහන් වන්නේ යයි සිතාගෙන ලියූ ළමා ගී ද තිබේ.

නම ගම ආගම
ඉපදුන දාතම වගතුග ලියා ඇතී
හතරැස් කොළයක් මටත් තියෙනවා
ගෙදර ම තබා ඇතී
එය උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ…

ප්‍රේමකීර්ති ද අල්විස් ලියා, පුණ්‍යසිරි මහවත්ත තනුව හා සංගීතය සපයා, පේෂලා මෙන්ඩිස් ගායනා කළ එහි තවදුටත් වැරදි කරුණු ගැබ් වේ.

වෙනස් කරන්නට පුළුවන් එහි ඇති
නම ගම කුල ගොත සිතූ විලාසෙන්
එනමුත් එහි ඇති නම රැක ගැනුමයි
ඉතා ම වැදගත් කුඩා ළමයිනේ

උප්පැන්න සහතිකයේ කුල ගෝත්‍ර සඳහන් වන්නේ නැත.

මෙතෙක් භාවිතා වන උප්පැන්න සහතිකයේ ‘මුත්තා උපන්නේ ලංකාවේ ද?’ යයි විකාර ප්‍රශ්නයක් තිබේ. මුත්තාගේ සම්පූර්ණ නම, උපන් වර්ෂය හා උපන් ස්ථානය ද එහි විමසයි. බොහෝ දෙනෙකුගේ උප්පැන්න සහතිකවල එයට ඇති පිළිතුර ‘නොදනී’ යන්නයි.

වාසනාවට මෙන් ‘ළමයාගේ මව හා පියා විවාහක ද?’ යන ප්‍රශ්නය උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිබේ. මෙම ප්‍රශ්නය හේතුවෙන් විවාහක නොවන මවකට හා පියෙකුට දාව උපදින දරුවෙකුට එම දරුවාගේ වරදක් නොවන හේතුවක් මත වෙනස්කමක් සිදු වේ.

පියාගේ තත්වය නොහොත් වෘත්තිය ද මින් පෙර උප්පැන්න සහතිකයේ සඳහන් විය. තත්වය හා වෘත්තිය යනු එකක් ද? වෘත්තිය යනු එකම දෙයක් ද? එය වෙනස් නොවන්නක් ද? එය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමේ තේරුම කුමක් ද? දරුවා ඉපදෙන විට පියා මියගොස් තිබෙන්නට පුළුවන. මිය ගිය පියාටත් වෘත්තියක් තිබේ ද? මෙම විකාර වගන්තිය මීට ටික කලකට ඉහතදී උප්පැන්න සහතිකයෙන් ඉවත් කරන ලදී.

කලින් උප්පැන්න සහතිකයේ නම වෙනස් කරගැනීම සඳහා ද ඉඩක් තිබිණි. අලුත් උප්පැන්න සහතික ආකෘතියේ එවැන්නක් නැත. ඩිජිටල් උප්පැන්න සහතිකයක් නිසා එය අවශ්‍ය නැති විය හැකි ය.

Translations