BASL

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රකාශය

2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.

හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර ඕනෑම නීතියක් අතික්‍රමණය කිරීම, සංශෝධනය කිරීම හෝ අත්හිටුවීම සඳහා හදිසි රෙගුලාසි සම්පාදනය කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ. එසේම, හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමේ නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කරන ලද කාල පරිච්ඡේදය තුළ අනුමත කරගත යුතු බව ද අපි සඳහන් කරන්නෙමු.  

මීට පෙර ජනාධිපතිවරයා විසින් කෙටි කාල පරිච්ඡේදයක් සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී ද 2022 අප්‍රේල් 2දා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ප්‍රකාශ කරන ලද පරිදි මහජන විරෝධතා සහ වැඩවර්ජන සහිතව රටෙහි උද්ගත වී තිබෙන වර්තමාන තත්වයට විසඳුම හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම නොවේ. මෙම විරෝධතා මගින් ප්‍රකාශමාන වන්නේ තමන්ගේත්, තම පවුල්වලත් ඉතා මූලික ජීවන අවශ්‍යතා සපයාගැනීම සම්බන්ධයෙන් මහජනයා මුහුණදී තිබෙන බලාපොරොත්තු සුන්වූ තත්වයයි. ඒ හා සමානවම, හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීම මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරභාවය ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයත් තවදුරටත් සංකීර්ණ වනු ඇත.

විරෝධය දැක්වීමේ අයිතිය හා විසම්මුතිය දැක්වීමේ අයිතිය මහජනයාගේ මූලික අයිතිවාසිකම්වල වැදගත් සාධකයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩිව විශ්වාස කරයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව රැස්වීමේ අයිතිය ද එයට අයත් වන අතර පොදු පිළිවෙල සම්බන්ධ අභිලාෂයන් ඇතුළු කාරණා මත මෙම අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වගන්තිය මගින් ප්‍රකාශිත සීමාවන්ට යටත් වේ. මෙම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පණවනු ලබන ඕනෑම සීමාකිරීමක් ප්‍රමාණාත්මක හා සාධාරණ විය යුතුය. එබැවින්, සාමකාමී විරෝධතා සහ විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ බලහත්කාර අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් සඳහා හදිසි නීතිය භාවිතා නොකළ යුතු බව අපි නැවත අවධාරණය කරන්නෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන විරෝධතා ප්‍රචණ්ඩ නොවිය යුතු අතර සියලු කල්හි සාමකාමී විය යුතුය.

රට හා ජනතාව මුහුණදෙන බැරෑරුම් අර්බුදය සහ දේශපාලනික සිරවීම පියමං කරගැනීමේ හදිසි අවශ්‍යතාව අවබෝධ කරගන්නා ලෙස අපි රජයේ හා විපක්ෂයේ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නෙමු. පොදු අවම වැඩසටහනක් සහිත ජාතික ඒකාබද්ධතා රජයක් පිහිටුවන ලෙසත්, 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා වහා ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට හේතු වූ තත්වය කුමක්දැයි වහා ජනතාවට පැහැදිලි කරදෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතිගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලාසිටියි. හදිසි නීතිය ප්‍රකාශ කිරීමේ නිවේනය ආපසු හැරවීම සඳහා කටයුතු කරන ලෙස සහ ප්‍රකාශනයේ නිදහස වැනි මූලික අයිතිවාසිකම් සහතික කරන ලෙස අපි අතිගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. අදහස් ප්‍රකාශ කිරීමේ හා ප්‍රසිද්ධ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස යනු මහජනයාගේ පරමාධිපත්‍යයේ සාධක වන අතර රජය විසින් හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක් විසින් හෝ එය උල්ලංඝනය නොකර එයට ගරු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇපකැපවී සිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පාර්ශ්වයෙන්, මෙම වකවානුවේදී මානව හිමිකම් උල්ලංඝනය වන පුද්ගලයන් හට සහාය පිරිනැමීම ඇතුළු අවශ්‍ය සියලු පියවර ගනු ඇත.

තම අස්පර්ශනීය උරුමයේ කොටසක් වන මූලික මානව හිමිකම් ආරක්ෂා වන පරිදි සන්සුන්භාවය පවත්වාගන්නා ලෙස සහ සාමකාමී අයුරින් ක්‍රියා කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රටේ මහජනයාගෙන් ඉල්ලාසිටියි.