Trade deficits of Sri Lanka with China and US - cartoon

වහා නොබැඳි විදේශ ප්‍රතිපත්තියකට නොගියහොත්, ලංකාවේ ජන ජීවිත අවදානමේ

අජිත් පැරකුම් ජයසිංහ

සති කීපයකට පෙර ඉහළ පෙළේ චීන නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ චාරිකා කිරීමෙන් පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද දින ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Translations by Creative Content Consultants

ඔහු පැමිණෙන්නට පෙර ම, එක්සත් ජනපද ප්‍රධාන උප සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟෙව්වේ ශ්‍රී ලංකාවට ඉක්මණින් ම දුෂ්කර, එහෙත් අවශ්‍ය තීරණයක් ගන්නා සිදු වන බව කියමිනි.

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම අපනයන වෙළඳපොළකි. ශ්‍රී ලංකාව චීනයෙන් හා ඉන්දියාවෙන් විශාල වශයෙන් ආනයන සිදුකරන මුත්, මේ රටවල් හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ශේෂයන් ශ්‍රී ලංකාවට බරපතල අන්දමින් අවාසිදායක ය. එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ශේෂය ශ්‍රී ලංකාවට අතිශය වාසිදායක එකකි.

මේ අතර චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය සැපයුම්කරුවෙකි. ණය ලබා දී ක්‍රියාත්මක කරනු ලබන කොන්ත්‍රාත් බොහොමයක කොන්ත්‍රාත්කරුවන් වන්නේ ද චීන සමාගම් ය. චීන කම්කරුවෝ හා ඉහළ ශ්‍රේණි වෘත්තිකයෝ ද ලක්ෂයක් පමණ ශ්‍රී ලංකාවේ වැඩ කරති.

මේ පිළිබඳ අප මීට පෙර ලියූ ලිපියක මෙසේ සඳහන් වෙයි: “වසර 2018 වන විට, ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට අවුරුද්දකට ඩොලර් බිලියන 2.7ක වටිනාකමින් යුත් භාණ්ඩ අපනයනය කරනවා. ඒ අතරින් වැඩි ම ප්‍රමාණයක් වන්නේ ඇඟලුම්. මේ අතර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 373ක් පමණයි. දෙරට අතර වෙළඳ ශේෂය ඩොලර් බිලියන 2.3කට වැඩියි. එහි වාසිය තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි.

“ශ්‍රී ලංකාව 2018 වසරේදී කරන ලද සමස්ත අපනයනයන්ගේ වටිනාකම ඩොලර් බිලියන 11.9ක් පමණයි. ඒ අතරින් 40%ක් පමණ රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන වන අතර, 17%ක් පමණ තේ. අනෙකුත් ප්‍රධාන අපනයන වන්නේ කුළුබඩු, මැණික්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර් හා මත්ස්‍ය නිෂ්පාදන. එක්සත් ජනපදය හැරුණු විට, බ්‍රිතාන්‍යය, ජර්මනිය, බෙල්ජියම සහ ඉතාලිය තමයි ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන අපනයන වෙළඳපොළවල්.

“චීනයත් එක්ක ලංකාව කරන වෙළඳාම්වල වෙළඳ ශේෂය ඩොලර් බිලියන හතරකට වැඩියි. එහි වාසිය තනිකරම චීනයට. ඉන්දියාවත් සමග වෙළඳ ශේෂය ඩොලර් බිලියන 3.5ට වැඩියි. තනිකරම වාසිය ඉන්දියාවට. ඇමරිකා එක්සත් ජනපදය සමග වෙළඳ ශේෂය ඩොලර් බිලියන 2.3කට වැඩියි. තනිකරම වාසිය ශ්‍රී ලංකාවට.”

ශ්‍රී ලංකාවට තෝරාගැනීමක් කිරීමට සිදු වන බව එක්සත් ජනපදය කියයි. ඒ තෝරාගැනීම කුමක් ද? එක්සත් ජනපද වෙළඳපොළ අහිමි කරගෙන චීන ණය මත බැඳීම ද?

මේ අතර, අලුත් ම සිදුවීම නම්, පොම්පියෝගේ චාරිකාව ගැන කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කර තිබෙන නිවේදනයයි. එම නිවේදනය ඉතා පැහැදිලිව ම තමන්ට අයිති විය යුතු යයි සිතන යම් දේපලක් බෙදාගැනීමට රණ්ඩුවන දෙන්නෙකු අතර ගනුදෙනු වන බැණ අඬගසාගැනීමේ ලියුම්වලට සමාන ය. එම නිවේදනය හා එහි ගැටලුව ගැන විස්තරයක් මෙතනින් කියවන්න. China blames US using ‘we’ to identify her and Sri Lanka

මෙම නිවේදනය හුදෙක් චීනය වෙනුවෙන් පමණක් නිකුත් කරන ලද එකක් නොවේ. එහි එක් මතභේදාත්මක වාක්‍යයක් මෙසේ ය: “We have enough wisdom to handle relations with each other and do not need a third party to dictate.” එකිනෙකා සමග සබඳතා හසුරුවා ගැනීමේ ප්‍රඥාව අපට (දෙරටට) තිබෙන නිසා (අපට) තුන්වන පාර්ශ්වයක උපදෙස් අනවශ්‍ය බව එහි තේරුමයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පවා නිවේදන නිකුත් කරන්නට චීනයට බලය දුන්නේ කවුරු ද?

මේ අතර, ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයකු වන විමල් වීරවංශ දිගට හරහට ඇමරිකාවට නෙළාගෙන නෙළාගෙන යන විදියෙන් ද පෙනෙන්නේ ඔහු පසුපසු චීනය හා යුආන් ඇති බවයි.

මේ අතර, ආණ්ඩුවේ ප්‍රබල ඇමරිකන් නියෝජිතයකු වන බැසිල් රාජපක්ෂ හා විමල් අතර ද තදබල ගැටුමක් තිබේ. විමල් වීරවංශ එක්සත් ජනපදයට එල්ල කළ දරුණු ප්‍රහාරයේ කොටසකි මේ. US Bar Association to open an office in Sri Lanka – Wimal Weerawansa

පසුගිය ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයන් ද ඇමරිකන් ගැති බවට චෝදනා තිබිණි.

මේ එන හැටි හොඳ තත්වයක් නොවේ. පශ්චාත් කොවිඩ්-19 සංදර්භය තුළ ජාත්‍යන්තර දේශපාලය කුමන ස්වරූපයක් ගනු ඇතිදැයි අපට තවම පුරෝකථනය කිරීමට බැරි ය. එහෙත්, එකක් පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වහා නැවතත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙත මාරු නොවුණහොත්, ශ්‍රී ලංකාවට සිදු වන්නේ අලි සෙල්ලං මැදට පනින නරියකුට වන දේ ය.

ඉන්දීය, චීන, එක්සත් ජනපද වල් ඌරන් කැකුණ තලන විට, ලංකාවට හැමදාමත් මගුල් කන්නට ලැබේ යයි නොසිතිය යුතු ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බල අරගලවල රණබිමක් වන්නට ඉඩ නොදිය යුතු ය.

Translations