handwashing

සබන් යොදා දෑත් සේදීම මේ තරම් වැදගත් ඇයි?

ඊශා කප්පරගේ

රජය හා සෞඛ්‍ය ප්‍රධානීන් පිළිනොගත්තාට මේ වන විට කෝවිඩ්-19 සමාජය තුළ ව්‍යාප්ත වෙලා අවසන් බව පැහැදිලියි. ඒ නිසා අහඹු ලෙස ඇන්ටිජන්, පීසීආර් ආදී පරීක්ෂණ කිරීම සම්පත් නාස්තියක් වෙන්නට පුළුවන්. ඒ වෙනුවට සැකසහිත හා රෝගී අය වෙනුවෙන් පරීක්ෂා සිදුකළ හැකියි.

මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ මුහුණු ආවරණ පැළඳීම, දෑත් සේදීම, ශාරීරික දුරස්ථභාවය, සංචරණය අත්‍යවශ්‍ය කටයුතුවලට සීමාකිරීම, සෙනග රැස්වන ස්ථානවලට නොයාම වැනි කාරණා ප්‍රවර්ධනය කිරීමයි.

කෝවිඩ්-19 ඇතිකරන වයිරසය ඉතා පහසුවෙන් ඔබේ දෑත් වැනි තැන්වල ඇලෙනවා. දෑත්වලින් මුහුණ, කට, නාසය, ඇස් ආදිය ස්පර්ශ කිරීමෙන් ඔබට වයිරසය ආසාදනය වෙන්නට පුළුවන්. ඒ වගේම, ඔබේ දෑත්වල තැවරුණු වයිරසය තවත් තැන්වල තැවරෙන්නට පුළුවන්.

ඇතැමුන් බොහෝ වෙලාවක් එකම අත්වැසුම් පාවිච්චි කරමින් සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ අත්වැසුම්වල ඉතා පහසුවෙන් වයිරසය ඇලෙනවා. ඒවා තව තව පෘෂ්ඨවලත් තැවරෙනවා. මුදල්, මේස, කවුන්ටර, පරිගණක යතුරු පුවරු, ජංගම දුරකථන ආදී හැම තැනකම වයිරසය තිබෙන්නට පුළුවන්. අත්වැසුම් දමාගෙන මේවා අල්ලන අය ඒ අත්වැසුම් පිටින්ම මුහුණු ආවරණය අල්ලනවා ඔබ දැක ඇති. අත්වැසුම් යනු පාවිච්චි කර වහා බැහැර කළ යුතු දෙයක් මිසක් බොහෝ වෙලාවක් පැළඳ සිටින්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ දෑත් පිරිසිදු කරගැනීමයි.

අත්වැසුම් දමාගෙන සිටින අය සමග ගනුදෙනු කිරීමේදී පරිස්සම් වන්න. අත්වැසුම් පළඳින අයත් පරිස්සම් වෙන්න. අත්වැසුම්වලින් ආරක්ෂාව ලැබෙන්නේ ඔබ නිතර ඒවා බැහැර කර අලුත් ඒවා පැළඳගන්නවා නම් පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කිරීම් අනුව, වයිරසයේ පිටත ආවරණය සෑදී තිබෙන්නේ මේද ස්ථරයකින්. එමගින් වයිරසය තුළට ජලය ඇතුළුවීම වළක්වනවා. ඒ නිසා වතුර නිසා කෝවිඩ්-19 වයිරසය විනාශ වෙන්නේ නැහැ. වතුරෙන් විතරක් දෑත් සේදීමෙන් ඔබට කෝවිඩ්-19න් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

මෙහිදී සබන් විශේෂ වෙනවා. සබන් වතුරටත්, මේදවලටත් ආකර්ශනය වෙනවා. දෑත් සබන්වලින් සේදීමෙන් වයිරසය බිඳී විනාශ වෙනවා. ඔබ වතුරෙන් දෑත් සෝදන විට වයිරසයේ ඉතිරි කැබලිත් සේදී වතුර සමග ඉවත්වෙනවා. මතක තබාගන්න. සබන් වයිරසය මත ක්‍රියාකරන්නට තත්පර 20කවත් කාලයක් අවශ්‍යයි. ඒ නිසා තත්පර 20ක් පමණ දෑතේ සෑම තැනකම හොඳින් සබන් ගා දෑත් සෝදන්න. ඔබේ දෑත් සබන් හා වතුරෙන් සේදීමෙන් කෝවිිඩ්-19 වගේම වෙනත් රෝග ද වළක්වාගැනීමට පුළුවන්.

ඇල්කොහොල් හෙවත් මධ්‍යසාර භාවිතා කර සාදන ලද විෂබීජ නාශකවලින් දෑත් පිරිසිදු කිරීමේදී සිදුවන්නේ ද එයමයි. එහිදී ඒවා මගිනුත් සිදුවන්නේ එයමයි. එහි 60%ක් එතනෝල් හෝ 70%ක් අයිසොප්‍රොපනෝල් අඩංගු විය යුතුයි.

මේ ලිපියත් කියවන්න: කොරෝනාවෙන් බේරී නිවැරදිව කඩේ යන හැටි

Photo credit: UNICEF

Creative Content Consultants