Menstrual health

සනීපාරක්ෂක තුවාවලට බදු පැණවීම රාජ්‍ය නොපණත්කමකි

අජිත් පැරකුම් ජයසිංහ

2021 අයවැය යෝජනාවලින් පසු ආණ්ඩුව සනීපාරක්ෂක තුවාවලට 15%ක CESS බද්දක් පනවා තිබෙන බව හෙළිදරව් වුණා. ඒ පිළිබඳ රජය විසින් කරන ලද පැහැදිලි කිරීම් අනුව, කලින්ද 30%ක ආනයන බදු පණවා තිබී ඇත. රජය විසින් කර තිබෙන්නේ එම බදු ව්‍යූහය ආනයන බදු 15%ක් හා සෙස් බද්ද 15%ක් ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමයි. කෙසේ වෙතත්, වෙළඳපොළේදී එකතු වන තවත් බදුත් සමග සනීපාරක්ෂක තුවායක් මිලදීගැනීමේදී ලාංකික කාන්තාවක් විසින් විශාල බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බව පැහැදිලියි. මෙය මේ රටේ 52%ක් වන කාන්තා පරපුර මත පණවන ලද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ බද්දක් බවත් පැහැදිලියි.

සාමාන්‍යයෙන් ගත් කල කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී දින 2500 – 3000 අතර කාලයක් ඔසප් වීම සමඟ ගත කරන බවට තක්සේරු කර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යයනයක් අනුව, ශ්‍රී ලංකාවේ මව්පියන්ගෙන් 60%ක් සිය දියණියන් ඔසප් දිනවලදී පාසල් යවන්නේ නැහැ. 80%ක් මව්පියන් සිතන පරිදි මෙම දිනවලදී නෑම මගහැරිය යුතුයි.

සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍ර‍නාන්දු බලපිටියගේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍ර‍ජා වෛද්‍ය මහාචාර්ය පුෂ්පා ජයවර්ධනගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර වසර පහකට පමණ ඉහතදී කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව පවසා තිබුණා. එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණයි.

ඔසප් ස්වස්ථතාව පිළිබඳ කතා කරමින් වෛද්‍ය අසන්ති ප්‍ර‍නාන්දු බලපිටිය මහත්මිය පැවසුවේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීම වැදගත් බවයි.

“සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මේ පිට වන්නේ අපිරිසිදු රුධිරය බව කියන එක එවැනි මතයක්. එය වැරදියි. මෙහිදී සිදු වන්නේ ගැබ් ගැනීම සඳහා සූදානම් වුණ ගර්භාෂ බිත්තිය, ගැබ් ගැනීමක් සිදු නොවීම නිසා ගැලවී රුධිරය සමග ඉවත්ව යාම යි. ඔසප් වීම සිදු වන දිනවල පිරිසිදුකම ඉතා වැදගත්. ඔසප් දිනවලදී නාන්නට හොඳ නැහැ වගේ අදහස් තියෙනවා. ඒ වුණාට මේ දිනවල නාලා පිරිසිදු වෙන එක ඉතා වැදගත්. අප කියන්නේ සනීපාරක්ෂක තුවා හෝ රෙදිකඩ පැය හතරකට වරක් මාරු කරන්න ය කියලා යි. එහෙත්, සමහර විට, පාසල් දරුවන්ට එහෙම ඒ සඳහා පහසුකම් නැති නිසා උදේ පාසල් පැමිණ, සවස පන්ති ගොස් එනතුරුත් එක ම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සමාජ වගකීමක්. ඒ වගේ ම, ඒ දිනවලදී ඔවුන් මුහුණ දෙන ශාරීරික, මානසික ගැටලුවලදී ඔවුන්ට විශේෂයෙන් ම සැමියා, දරුවන් ඇතුළු පවුලේ අයගෙනුත්, සමාජයෙනුත් උපකාර අවශ්‍ය යි. ඒ නිසා ඔසප් ස්වස්ථතාව කියන්නෙ කාන්තාවන්ගේ ගැටලුවක් නෙමෙයි. එය සමාජමය කාරණයක්.”

ඔසප් වීම කියන සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය නිසා අපේ දියණියන්, සොයුරියන් තවමත් සමාජ පසුබෑමට ලක්වෙනවා. ලංකාවේ කාන්තාවන්ට සමාජ සමානාත්මතාව දිනාගන්නට බැරිවෙන්නට එය ප්‍රධාන හේතුවක්. කාන්තාවන් සම්බන්ධයෙන් තිබෙන පසුගාමී අදහස් නිසා ඔවුන්ට අධ්‍යාපනයේදී විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු හා ගණිත කුසලතා සමාන අන්දමින් ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35%ක වගේ මට්ටමක තමයි තියෙන්නේ. රැකියාවලදී ඔවුන්ට ඉදිරියට යාමට අවස්ථා සීමා වෙනවා. ප්‍රතිපත්ති සම්පාදන මට්ටම්වලට කාන්තාවන් සහභාගි කරගැනීම අවම වෙනවා. රටේ ජනගහනයෙන් 52%ක් පමණ කාන්තාවන් වෙද්දී, අපේ රටේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය හැමදාම වගේ 5%කට පමණ සීමාවෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයේදී කාන්තාවන්ට නියෝජනයක් නැති නිසා කාන්තාවන්ගේ තත්වය වෙනස් වෙන්නෙ නැතුව එහෙමම තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවට රජය උදව් කළ යුතුව තිබෙන සමයක, කාන්තාවක් සෞඛ්‍ය ඇමති ධුරය හොබවද්දී පවා මෙම දැවැන්ත බදු අයකිරීම වෙනස් නොකරන්නේ නම්, එය රාජ්‍ය නොපණත්කමකි.

මේ ලිපිත් කියවන්න:

සජිත්, ද පෑඩ්මෑන් සහ ඔසප් ස්වස්ථතාව

ඔසප් වීම හා විප්ලවය අතර සම්බන්ධය