UNFPA Generation to Generation Dialogue

පාසල් ගුරුවරුන්ගෙන් 50%ක් ම කිසිදු ආකාරයක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ පුහුණු වැඩසටහනකට සහභාගි වී නැහැ – අධ්‍යයනයකින් හෙළි වේ

මෑතදී පවත්වන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වූ පරිදි පාසල් ගුරුවරුන්ගෙන් 50%ක් ම කිසිදු ආකාරයක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ පුහුණු වැඩසටහනකට සහභාගි වී නැත. එහෙත්, ඔවුන් අතරින් 90%ක් පමණ හැකියාවන් වර්ධනය කරගැනීමට තමන්ට අවශ්‍ය බව පැවසුවා.

(ලිපිය දැන්වීමෙන් පසු)
Translations by Creative Content Consultants

ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන තත්වය තේරුම්ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමග එක්ව දීප ව්‍යාප්ත අධ්‍යයනයක් පවත්වන ලදී. ‘පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාසල් සිසුන්ගේ දැනුම සහ ආකල්ප විශ්ලේෂණය එහි තේමාවයි. අධ්‍යයනයට පාසල් 300ක් පමණ ඇතුළත් වූ අතර ශිෂ්‍යයන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ මව්පියන් 4,400කට වැඩි පිරිසක් එහිදී අදහස් ඉදිරිපත් කළ හ. අධ්‍යයනය සිදුකරනු ලැබුවේ, කැලනිය විශ්වවිද්‍යාලයේ, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ, සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය (සභාපති), මහාචාර්ය කේ. කරුණාතිලක විසිනි.   අධ්‍යයනයයේ සොයාගැනීම් ඉදිරිපත් කරමින් මහාචාර්ය කරුණාරත්න පහත දැක්වෙන අදහස් ඉදිරිපත් කළේ ය: “බොහෝ ගුරුවරුන් පාසල් විෂයමාලාවේ කොටසක් වන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා. ගුරුවරුන්ගේ ප්‍රතිචාර අනුපාතිකය අඩුවීම විසින් ද, මෙම වැදගත් මාතෘකාව සම්බන්ධයෙන් පවතින අපකීර්තිමත්භාවය හා සම්බන්ධව අධ්‍යයනයට වලංගු වටිනාකමක් එකතු වුණා.

මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වූ වැදගත් කරුණු අතරින් කීපයක් මෙසේයි:

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සාර්ථක ජීවිතයක් සඳහා වැදගත් බව 82% ක් සිසුන් පිළිගන්නවා. එසේ පිළිගන්නා ගැහැණු ළමයින් සංඛ්‍යාව පිරිමි ළමයින් සංඛ්‍යාවට වඩා වැඩියි.

පාසල් විෂයමාලාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයට ප්‍රමුඛතාව දිය යුතු බව 78%ක් සිසුන් හඳුනාගන්නවා.

එහෙත්, නව යොවුන් වියට එළඹීමේදී ශරීරයේ සිදුවන වෙනසකම්, ගැබ්ගැනීම සහ ප්‍රජනන පද්ධතිය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබාගැනීමට පවත්නා අධ්‍යාපන ක්‍රමය ප්‍රමාණවත් යයි සිතන්නේ සිසුන්ගෙන් තුනෙන් එකක් පමණයි.

මේ අතර, ගුරුවරුන්ගෙන් 44%ක් පාසල්වල පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය උගන්වන බව හඳුනාගත්තා. එහෙත්, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය නව යොවුන් ළමයින් සඳහා වන විෂයමාලාවේ කොටසක් විය යුතු බව පිළිගන්නවා ද යන ප්‍රශ්නයට 87%ක් ම ගුරුවරුන්ට පිළිතුරක් තිබුණේ නැහැ. හේතුව, ඔවුන්ට මෙම විෂය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබීමයි.

මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල දියත් කිරීමට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA), අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව සිය සයවන පරම්පරාන්තර සංවාදය පවත්වනු ලබන්නේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබා දීම – එය කාගේ කාර්යයක් ද?’ යන තේමාවෙනි. මෙම අවස්ථාවේදී ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී ගුරුවරුන්ගේ සහ මව්පියන්ගේ භූමිකාව පිළිබඳ තරුණයන් සහභාගි වූ විවාදයක් ද පැවැත්විණි. ගුරුවරුන් මෙන් ම මව්පියන් ද සමාන වගකීමක් දරන බව ද, එම දෙපාර්ශ්වයේ ම සහයෝගය නොමැතිව, තරුණයන්ට ඉතා වැදගත් වයසකදී තම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සහ හිමිකම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත නොහැකි බව ද එමගින් අවධාරණය කර සිහිපත් කරන ලදී.

මෙම අවස්ථාවේදී පිළිගැනීමේ කතාව පවත්වමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නැකෙන් මිය මෙම අදහස් පළ කළා ය: “1994 ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ (ICPD) ක්‍රියාකාරී වැඩසටහන විසින් නව යොවුන් ප්‍රජාවේ යහපැවැත්ම ප්‍රවර්ධනය වන පරිදි ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන්නැයි සුවිශේෂයෙන් පවසනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ තරුණ පුද්ගලයන්ගෙන් 50%ක් පමණ මූලික ලිංගික හා ප්‍රජනන කරුණු පිළිබඳව දැනුවත් නැත. කොන්ඩමයක් භාවිතා කිරීම මගින් ගැබ්ගැනීම් වළක්වාගත හැකි බව දන්නේ ශ්‍රී ලාංකික ගැහැණු ළමයින්ගෙන් 35%ක් පමණයි. තරුණ ජනයාට තම ජීවිත වෙනස් කිරීමට ඉවහල් වන නිවැරදි තොරතුරු සැපයීමේදී ගුරුවරුන් සහ මව්පියන් ලැජ්ජාවට පත්විය යුතු නැහැ. ගෝලීය පර්යේෂණ මගින් පෙන්වා දෙන පරිදි, පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය නිසා අඩු වයසින් ලිංගික ක්‍රියාවන්ට පෙළඹීමක් සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට ඇත්තට ම සිදුවන්නේ අනෙක් පැත්තයි.

මෙම අධ්‍යයනය ද වෙනත් දත්ත ද පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ප්‍රතිපත්ති මට්ටමේ නිර්දේශ අඩංගු ප්‍රතිපත්ති සාරාංශයක් සම්පාදනය කරන ලදී. එහි අරමුණ වන්නේ,  ශ්‍රී ලංකාවේ වයසට යෝග්‍ය පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ජාත්‍යන්තර මාර්ගෝපදේශානුකූලව ශක්තිමත් කිරීමයි. මෙම ප්‍රතිපත්ති සාරාංශය ද මෙම වැඩසටහනේදී දියත් කරන ලදී. ඉන් අනතුරුව පැවැත්වුණ පරම්පරාන්තර සංවාදයට ජාත්‍යන්තර විශේෂඥවරියක සමග ගුරු, මව්පිය, ශිෂ්‍ය, විදුහල්පති, වෛද්‍ය නිලධාරි යන ප්‍රජාවන් නියෝජනය කරන අය සහභාගි වූ හ. මෙම සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහකාර නියෝජිත මධූෂා දිසානායක මිය විසිනි.

ජාත්‍යන්තර විශේෂඥවරියක ලෙස, සිවන්තනී තනේන්තිරන් මිය (විධායක අධ්‍යක්ෂ, කාන්තාවන් සඳහා ආසියා ශාන්තිකර සම්පත් සහ පර්යේෂණ මධ්‍යස්ථානය (ARROW), මැලේසියාව) මෙසේ අදහස් දැක්වූවා ය. “පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ හිමිකම පදනම් වන්නේ මානව හිමිකම් මතයි. එමගින් අදහස් වන්නේ, තම සෞඛ්‍යය, යහපැවැත්ම සහ ගරුත්වය ආරක්ෂා කරගැනීමට තරුණ ජනයා සවිබලගැන්වීමයි. මෙම ජීවිත බේරාගැනීමේ අධ්‍යාපනය සෑම තරුණ පුද්ගලයකු විසින් ම, පාසලෙන්, නිවසෙන් සහ පුළුල් සමාජයේ සියලු මාර්ගවලින් ලබාගන්නා බව තහවුරු කිරීමට අප සක්‍රිය ප්‍රයත්නයක් දැරිය යුතුයි.

මෙම පරම්පරාන්තර සංවාදය මෙතැනින් නැරඹිය හැකි ය >>

මෙම අධ්‍ය්‍යනය මත පදනම්ව සකස් කරන ලද ප්‍රතිපත්ති සාරාංශය මෙතැනින් කියැවීමට හෝ ඩවුන්ලෝඩ් කරගැනීමට හැකි ය>>