World Cancer Day

නිදහසට යට වූ පිළිකාව

ඊශා කප්පරගේ

පෙබරවාරි 4දා ලෝක පිළිකා දිනයයි. ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ලෝක මට්ටමෙන් වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් මහජන අවධානය යොමු කිරීමටයි.

Translations by Creative Content Consultants

2020 ලෝක පිළිකා දිනයේ තේමාව #IAmAndIWill යන්නයි. මා සහ මගේ කැමැත්ත ලෙස එය පරිවර්තනය කළ හැකි ය. අද ඔබ ගන්නා තීරණය හෙට ඔබේ දිවි සුරකිමින් සමාජ යහපැවැත්මට ඉවහල් වනු ඇත.

ශ්‍රී ලංකාවේ වසරකට 14,000ක් පමණ දෙනා පිළිකා නිසා මිය යන බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.

2018 වසරේ අලුතින් පිළිකා රෝගීන් 23,050ක් හඳුනාගන්නා ලදී. පිරිමින් අතර, මුඛ, තොල්, පෙණහළු, ගලනාලය, මහා අන්ත්‍රය, ආමාශය යන ස්ථානවල පිළිකා ප්‍රධාන ය. දුම්බීම, බුලත් සැපීම, මත්පැන් පානය, වැරදි ආහාර පුරුදු ආදිය පිරිමින් අතර පිළිකාවලට ප්‍රධාන හේතු වේ.

කාන්තාවන් අතර පියයුරු, ගැබ් ගෙල, තයිරොයිඩ්, ඩිම්බ කෝෂ පිළිකා ප්‍රධාන ය.

බොහෝ පිළිකා කලින් හඳුනාගතහොත් සුව කළ හැකි ය. අධික ලෙස පිළිකාකාරක වායු නිකුත් කරන පොලිතින් විවෘත පරිසරය තුළ පිළිස්සීම නීතියෙන් තහනම් වුවත්, ලංකාවේ ඇතැමෙකු තවමත් එම අවකල්ක්‍රියාවේ යෙදෙති.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර වඩාත් ම සුලබ පිළිකා ස්වරූපය පියයුරු පිළිකායි. සුව නාරි සායන වෙත ගොස් පියයුරු පිළිකා සඳහා මැමෝග්‍රෑම් පරීක්ෂාවක් කරගැනීමේ පහසුව ශ්‍රී ලංකා රජය විසින් කාන්තාවන්ට සපයා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්තවහරණය සිදු වූ කාන්තාවන් අතර පියයුරු පිළිකා අවදානම වේගයෙන් වැඩි වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනය වේගයෙන් වියපත් වෙමින් තිබෙන නිසා ආර්තවරණය සිදු වූ කාන්තාවන් අතර පිළිකා අවදානම විශේෂයෙන් අනතුරුදායක ය.

ගැබ් ගෙල පිළිකාව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර දෙවන සුලබ ම පිළිකා වර්ගයයි. එය කැපීපෙනෙන ප්‍රජනන සෞඛ්‍ය ප්‍රශ්නයක්. අවුරුදු පතා කාන්තාවන්ගේ ජීවිත 700ක් පමණ එයට ගොදුරු වෙනවා. ගැබ් ගෙල පිළිකාවලට මූලික හේතුව මානව පැපිලෝමා වයිරසයයි. එය ලිංගික සංසර්ගය මගින් වේගයෙන් පැතිරිය හැකියි. ඔබට තිබෙන ගැබ් ගෙල අවදානම කිසිවකුට පිටතින් බලා කිව නොහැකියි. පරීක්ෂාවකින් ඔබට නිවැරදි තොරතුරු ලබා ගත හැකියි. ගැබ් ගෙල පිළිකා පරීක්ෂාවක් මගින් ගැබ් ගෙල පිළිකාව කල් තබා හඳුනාගැනීමෙන් සුවපත් වීමට හා ජීවන ගුණය වැඩි කරගැනීමට හැකි වෙනවා.

වර්තමානයේදී ගැබ් ගෙල පිළිකාවලට එරෙහි සටන ඇරඹෙන්නේ මානව පැපිලෝමා වයිරස ප්‍රතිශක්තිකරණ (HPV) එන්නතෙනි. HPV එන්නතෙන් මානව ගැබ් ගෙල පිළිකා වළක්වනවාට අමතරව දිවේ, උගුරේ සහ සෙම්ගෙඩිවල පිළිකා ඇති වීම ද වැළැක්වේ.

පැප්ස්මියර් පරීක්ෂාව සරල ගැබ් ගෙල පිළිකා පරීක්ෂාවකි. එමගින් ගැබ් ගෙලෙහි පිළිකාවලට තුඩු දිය හැකි සෛල වෙනස්කම් හඳුනාගනු ලැබේ. ඒවාට ප්‍රතිකාර නොකර සිටියහොත්, ගැබ් ගෙල පිළිකා ඇති විය හැකි ය.

Translations