weight loss scale

ලංකාවේ රජය කොයි තරම් ලොකු විය යුතු ද?

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020-02-16

ශ්‍රී ලංකාවේ රජය ප්‍රමාණයෙන් ඉතා විශාලයි. ආර්ථික වශයෙන් ගොඩක් බරයි. ලක්ෂ තුනක් පමණ වන ආරක්ෂක හමුදා සාමාජිකයන් සමග රජයේ සේවකයන් සංඛ්‍යාව අඩු වශයෙන් ලක්ෂ 14ක්වත් වෙනවා. ලක්ෂ 220ක් විතර වන ජනගහණයත් එක්ක බැලුවාම ලංකාවේ සෑම බාල මහළු පුද්ගලයන් 15දෙනෙකුට පමණ එක් අයෙක් රජයේ සේවකයෙක්.

Translations

හැබැයි, රජයේ සේවකයන් ගණන මෙපමණ ද? ලක්ෂ පහක් පමණ වන රජයේ සේවයේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේත් රජයයි.

රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අර්ධ රාජ්‍ය ආයතන, රාජ්‍ය සමාගම් සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයන් සංඛ්‍යාව 450කට වැඩි බව සැලකුණත්, පසුගිය දිනෙක ජනාධිපති අතිරේක ලේකම්වරියක වන චන්දිමා වික්‍රමසිංහ පෙන්වා දුන්නේ කිසිදු ආයතනයක මෙවැනි රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නිවැරදි ලේඛනයක් කිසිදු රාජ්‍ය ආයතනයක් සතුව නැති බවයි. ඇය මේ බව පැවසුවේ කොළඹදී පැවැත්වුණ කොළඹ දේශපාලන සංවාද නම් වැඩසටහනකදීයි. මා මෙම ලිපියේ ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් වන්නේ එම සංවාදයේදී ඉදිරිපත් වූ දත්ත හා අදහස් මතයි. එම වැඩසටහන සංවිධානය කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස්හි දකුණු ආසියානු මධ්‍යස්ථානය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨය එක්වයි. එයට ජාත්‍යන්තර හා දේශීය විද්වතුන්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් සහභාගි වුණා.

මෙවැනි ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය කිහිපයක් තමයි ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ලංකා ඛනිජතෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය. මේ සියල්ල ම පාඩු ලබන ආයතන. රාජ්‍ය ව්‍යවසාය අතරින් විශාල ප්‍රමාණයක් පාඩු ලබනවා. උදාහරණයක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙවැනි ව්‍යවසායන් 30ක් ඇති බවත්, ඒ සියල්ල ම පාඩු ලබන ඒවා බවත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මෙම වැඩසටහනේදී පැවසුවා.

රජය තල තුනක් ඔස්සේ ක්‍රියාත්මකයි. විධායකය සහ ව්‍යවස්ථාදායකයත්, ඇමති මණ්ඩලයත්, ඔවුන් යටතේ ඍජුව පාලනය වන රාජ්‍ය අංශයත් අයත් වන්නේ මධ්‍යම රජයට.

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා නවයක් පිහිටුවා තිබෙනවා. ඒ තමයි රජයේ දෙවන තලය. රටේ පරිපාලන දිස්ත්‍රික් සංඛ්‍යාව 25ක්. එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335ක් තුළ ග්‍රාම සේවා නිලධාරි වසම් 14,025ක් ද තිබෙන බව ඇමති සුසිල් ප්‍රේම ජයන්ත පැවසුවා.

Translations by Creative Content Consultants

තුන්වන තලය වන්නේ පළාත් පාලන ආයතනයි. පළාත් පාලන ආයතන 370ක් රටේ ඇති බව ඇමතිවරයා පැවසුවා. එයින් 24ක් මහ නගර සභා.

ශ්‍රී ලංකාවේ රජය උවමනාවට වඩා විශාල බවට අදහසක් තිබුණත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය කොයි තරමේ රජයක් ද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් රජයටවත් නැහැ. එය තීරණය කළ හැක්කේ සංවිධාන අවශ්‍යතා තක්සේරුවක් මගින් බවයි ජාතික වැටුප් හා කාර්ය මණ්ඩල කොමිෂමේ සභාපති එස්. රනුග්ගේ පවසන්නේ.

රජය විශාල ද නැද්ද කියන කාරණයටත් වඩා වැදගත් වන්නේ රජය කොයි තරම් කාර්යක්ෂම ද කියන එකයි. ඇමති සුසිල් ප්‍රේම ජයන්ත පවසන පරිදි ලංකාවේ රජයේ පාසල්වල සිසු-ගුරු අනුපාතිකය සිසුන් 18කට එක් ගුරුවරයෙකු වෙනවා. එය බ්‍රිතාන්‍යයේ පවා නැති විශිෂ්ට තත්වයක් බවි ඔහු පවසන්නේ. එහෙත්, අපේ අධ්‍යාපනය කාර්යක්ෂමතාව ප්‍රමාණවත් නැති බව කවුරුත් දන්නවා. එහෙනම් දැන් ගැටලුව තිබෙන්නේ රජය කාර්යක්ෂම කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි. බදු ගෙවන ජනතාවට සාධාරණ සේවාවක් ලබා දෙන අන්දමින් රජයේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නේ කොහොම ද? ඒ ගැන ලබන සතියේ කතා කරමු.