charitha herath

රාජ්‍ය සේවය කොයි තරම් විශාලද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදෙනවා. ඒ අනුව,

  • අමාත්‍යාංශ (කැබිනට්) – 28
  • රාජ්‍ය අමාත්‍යාංශ – 40
  • දෙපාර්තමේන්තු – 98
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල – 25
  • සංස්ථා – 240
  • රාජ්‍ය සමාගම් – 125
  • රාජ්‍ය බැංකු – 8
  • අරමුදල් – 65
  • විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති – 124
  • තවත් ආයතන – 21
  • පළාත් සභා – 9
  • පළාත් පාලන ආයතන 340 (337?)
  • පළාත් සභාවල අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු – 241
  • පළාත් සභා ප්‍රඥප්තිවලින් පිහිටවූ ආයතන – 64
  • එකතුව – 2062 (?)
  • මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් – ලක්ෂ 8
  • පළාත් සභා – ලක්ෂ 3
  • රාජ්‍ය ව්‍යවසායන් තුළ – ලක්ෂ 2+
  • විශ්‍රාමිකයන් – ලක්ෂ 6 1/2

මෙම සංඛ්‍යාවට ආරක්ෂක හමුදාවල ලක්ෂ තුනක් ද එකතු වූ විට රාජ්‍ය අංශයේ සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වේ. ඉතා පැහැදිලිවම මෙය රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවකි. මේ එක් අයෙකුගෙන් තව දෙදෙනෙකු යැපේ යයි ගණන් බැලුවොත්, මේ රටේ ජනගහනයෙන් 30%ක්ම යැපෙන්නේ රජයෙනි.

මෙයට ආචාර්ය චරිත හේරත්ගේ මෙම එකතුකිරීම ද ඇතුළත් කර සලකා බැලීම වඩා යෝගය්‍ය. ඔහු නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය විසින් 2020 වසරේදී රාජ්‍ය සේවයට තවත් 61,000ක් එකතු කළ බව ද අමතක නොකරන්න.

කෝප් කමිටුව රාජ්‍ය ආයතන 420ක් පමණ විමර්ශනය කර තිබෙනවා. එම ආයතනවලින් ඉතා දූෂිත හා අලාභ ලැබූ ආයතන 32ක් හඳුනාගෙන තිබෙනවා. අලාභය රු. බිලියන 465ක් පමණ වෙනවා. පසුගිය වසර තුනේදී පමණක් 2018දී ආයතන 32ක රු. බිලියන 193ක් පාඩුයි. 2019දී එය රු. බිලියන 158ක පාඩුවක් ලබා තිබෙනවා. 2020 පාඩුව රු. බිලියන 114ක් වෙනවා. මේ ආයතන පවත්වාගෙන යාමට ආණ්ඩුව තවදුරටත් මුදල් ගෙවනවා. මේ ආයතන 32න් ප්‍රධානතම ආයතන හතරක් ද අප හඳුනාගෙන තිබෙනවා. ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා සතොස සමාගම ප්‍රධාන වශයෙන් පාඩු ලබන බව හඳුනාගෙන තිබෙනවා. පසුගිය වසර තුන ඇතුළත සිදුව ඇති සම්පූර්ණ පාඩුවෙන් 40%ක් අයිති වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමටයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව කළමනාකරණය වෙනවා.

(මූලාශ්‍රය: අරුණ පුවත්පත – 2021-12-05)