teachers in Sri Lanka

ළමා දිනය හා ගුරු දිනය මහජන මුදල් රුපියල් බිලියනයක නාස්තියක්

අජිත් පැරකුම් ජයසිංහ

බදු සල්ලි නාස්ති වෙන එක ගැන කතාකරනකොට පාර්ලිමේන්තු කැන්ටිමේ බත්එක වගේ ඒවා තමයි බොහෝ අයට මතක් වෙන්නෙ. ඔය බත්එක එතන සේවකයොත් කනවා. ඔය වගේ කෑම දෙන එක වරායෙත්, ගාමන්ට්වලත් කරනවා. ඒකට හේතු රැසක් තියෙනවා. පාර්ලිමේන්තුව වගේ තැනක නම් කෑම කන්න බත්තරමුල්ලටවත් යන්න වෙනවා. එමගින් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න වගේ ගැටලු රැසක් මතුවෙනවා. ඒක ගැන ආඩපාලි කියන එක වාමාංශිකයන්ගෙන් එන කුහකකමක්. කාලා බීලා පුරුදු මිනිසුන්ට ඔය බත්එක සුළු දෙයක්. එන්ජීඕ ඉවන්ට්වලදි ඔයිට වඩා හොඳට කන්න දෙනවා.

බදු මුදල් නාස්තිය නැතිකරන්න ඕනැ ඔය වගේ දේවලින් නෙමෙයි. උදාහරණයක් විදියට, පහුගිය දවස්වල ළමා දිනයේත්, ගුරු දිනයේත් වැඩකට නැති චොකා බයිලා නැටීම වෙනුවෙන් රට පුරා පාසල්වල අධ්‍යාපන කාලය නාස්ති කළා. බොහෝ පාසල්වල ඒ දවස් දෙකම හරියට ඉගැන්නුවේ නැහැ. ඊට කලින් ඔය ගුරු නැටුම් පුරුදු වුණෙත් දරුවන්ගෙ පන්තිවලට උගන්නන්නැතුව පාසල් වෙලාවෙමයි.

පාසල් 10,000කට ආසන්න ප්‍රමාණයක ගුරුවරුන් 250,000කට ආසන්න ගණනක හා ලක්ෂ 40ක දරුවන්ගෙ අධ්‍යාපන කාලය මේ විදියට නාස්ති වුණා නම්, දවසක ගුරු පඩිය විතරක් සාමාන්‍යය රු. 2,000 ගානෙ ගණන් හදලා බලන්න. එතන රු. 500,000,000. රු. මිලියන 500ක්. දවස් දෙකට රු. බිලියනයක්.

බදු සල්ලි නාස්ති වෙන ප්‍රධාන විදි තමයි ඒ. මේක ගත්තෙ ජනප්‍රිය උදාහරණයක් නිසා. ඇතැම් රජයේ නිලධාරීන් රැකියා කරන විදිය ගැන ඔබ හොඳින් දන්නවා. සමහරුන් ගන්නා පඩියට වැඩි වටිනාකමක් දෙන බවත් කිව යුතුමයි.

සංස්ථා, මණ්ඩල, අධිකාරි, විශ්වවිද්‍යාල ආදියත් ඇතුළුව ලක්ෂ 16ක් රාජ්‍ය නිලධාරීන් දවසකට එක ඒෆෝ කොලයක් නාස්ති කළත් එතන ඒෆෝ බන්ඩල 32,000ක්. ලක්ෂ 16ක් කියන්නෙ විශාල සංඛ්‍යාවක්.

මැති ඇමතිවරුන් කරන නාස්තිය ගැන වගේම මේ ගැනත් හිතන්න. රට වෙනුවෙන් වැඩ කරන්න.