teachers in Sri Lanka

කොරෝනා සමයේ රජය අධ්‍යාපනය සම්බන්ධයෙන් කළ ලොකුම දෙය

අජිත් පැරකුම් ජයසිංහ

ගුරු වෘත්තියේ අවුරුදු 20කට වැඩි කාලයක් නියැලී කල්තබා විශ්‍රාම ගත්තෙමි. මා වෘත්තියේ යෙදී සිටින කාලයේදී ද වෘත්තීය සංගම් ක්‍රියාකාරිකයෙකි. වෘත්තීය සංගම් ඉක්මවා ගිය දේශපාලන ක්‍රියාකාරකම්වල ද නියැලුණෙමි.

2015දී මා විශ්‍රාම යන කාලය වන විට පවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා සමගි කරගැනීම ඉතා දුෂ්කර විය. ගුරු සංගම් අතර දැඩි තරගකාරීත්වයක් තිබුණු මුත්, ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් සමිති සාමාජිකත්වය නොගෙන සිටියහ. මේ අතර, බලයේ සිටින පක්ෂය, විශේෂයෙන්ම 1994න් පසු බලයේ සිටි පක්ෂය සිය වෘත්තීය සමිතිය හරහා ගුරුවරුන් දැඩි බලපෑමකට යටත් කළේය.

ගුරු මාරු මණ්ඩලවල වෘත්තීය සංගම් ක්‍රියාකාරීත්වය තත්වය වෙනස් කිරීමට ඉවහල් විය. එතෙක් දැඩි ලෙස නිලධාරිවාදයට හා දේශපාලනයට යටවී තිබුණු ගුරු ස්ථාන මාරු සම්බන්ධයෙන් යම් සාධාරණත්වයක් නිර්මාණය කිරීමට වෘත්තීය සමිති දායකත්වය ඉවහල් විය.

මෑත කාලීනව, ගුරු සංගම් ව්‍යාපාරය තුළ ජෝසප් ස්ටාලින්, ප්‍රියන්ත ප්‍රනාන්දු, මහින්ද ජයසිංහ, වසන්ත ධර්මසිරි, යල්වල පඤ්ඤාසේකර හිමි වැනි නායකයන් විසින් ඉටුකරන ලද භූමිකාව ගුරු සංගම් ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් විය.

විදුහල්පති සංගම් හා ගුරු සංගම් අතර නිර්මාණය වූ සමගිය ද වෘත්තීය අරගල සාර්ථක වීමට හේතු විය. මේ වන විට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා වෙනුවෙන් දැවැන්ත බලමුළුගැන්වීමක් සිදුවී හමාරය. යළි පාසල් ආරම්භ වීමත් සමග සටන් ද ආරම්භ වනු ඇත.

ගුරු අරගල පැමිණ තිබෙන දුර හා ගොඩනැගී තිබෙන සමගිය පෙන්නුම් කළ විශිෂ්ට අවස්ථාවක් වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණයක නියැලුණු ජෝසප් ස්ටාලින් ඇතුළු නායකයන් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධානයනයට යොමුකර දඬුවම් කිරීමට ප්‍රතිචාර ලෙස ගුරුවරුන් විසින් දියත් කර තිබෙන ඔන්ලයින් පන්ති වර්ජනයයි.

අධ්‍යාපන අමාත්‍යාංශය භාරව සිටින ඇමති හා ලේකම් මහාචාර්ය දෙබාන අවුරුදු එකහමාරක් තිස්සේ අඩාල වී තිබෙන පාසල් අධ්‍යාපනය නඟාසිටුවන්නට කිසිවක් නොකර සිටි පසුබිමක ගුරුවරුන් අන්තර්ජාලය හරහා ඉගැන්වූයේ ස්වේච්ඡාවෙනි. ගුරුවරුන්ට රජය වැටුප් ගෙවූ බව ඇත්තය. එහෙත්, ඔවුන් සහභාගී කරගෙන අධ්‍යාපනය කඩාවැටීම වැළැක්වීම සඳහා කිසිවක් සංවිධානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් වූයේ නැත. සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යමක් කළා නම් ඒ කළේ ගුරුවරුන්ය. ඔන්ලයින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ, සම්බන්ධතා, දත්ත ආදී සියල්ල සපයාගත්තේ ගුරුවරුන් විසින් පෞද්ගලික ධනයෙනි. ඔන්ලයින් අධ්‍යාපනය සඳහා පුහුණුව ලබාගත්තේ ද පෞද්ගලිකවය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ සිට නිලධාරීන් කළ කිසිවක් නැත.

විදෙස් රටකදී හෝටලයක කොටු පනින්නට ගොස් වැටී අඬු කඩාගෙන ඒවා රෙපෙයාර් කරගන්නට පවා මහජන මුදල් වැය කළ, හරිහමන් රස්සාවක් නොකර මහජන මුදලින් යැපෙන මහළු මනමාල කාලකණ්ණියෙකු ගුරු නායකයන්ට කාලකණ්ණි යයි කීවේය. ගෝඨාභය බැසිල් රජය අධ්‍යාපනයට කළ ලොකුම දෙය එයයි.

ජෝසප් ස්ටාලින් ගැන මෙතැනින් කියවන්න

ඉස්ටාලිම් අයියා

ඡායාරූපයේ මූලාශ්‍රය