එස්, ජයශංකර්

ඉන්දියාවෙන් ලංකාවට ණය ලැබෙන හැටි

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය ලබාදීමට එකඟ වී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හා ශ්‍රී ලංකා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අතර දීර්ඝ සාකච්ඡාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමෙන් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවට සහාය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් නිවේදනය කළේය.

ඉන්දියාවේ මහබැංකුව වන Reserve Bank of India විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඩොලර් මිලියන 900ක ණයක් අනුමත කරන ලදී.

එයින් ඩොලර් මිලියන 515.2ක් Asian Clearing Union වෙත ගෙවීමට තිබෙන මුදල් ගෙවීම මාස දෙකකින් කල්දැමීමක් ලෙස ලැබේ. තවත් රු. මිලියන 400ක් ලැබෙන්නේ මුදල් හුවමාරුවක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින භාණ්ඩ හිඟය මගහරවාගැනීම සඳහා අවශ්‍ය ආනයන සිදුකරගැනීම සඳහා ඩොලර් බිලියන 1.5ක ණයක් ලැබෙන අතර අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ආනයනය සඳහා එම මුදල භාවිතා කළ හැකිය.

2020 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 3.6%කින් අඩුවිය. 2021 වසරේදී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 9%කින් අවප්‍රමාණ විය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද මූල්‍ය පැකේජය හේතුවෙන් ශ්‍රී ලංකාව දරුණු අර්බුදයකට මුහුණදීම වැළකී ඇති බවත්, රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය කළමනාකරනය කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇප ලබාගැනීමක් කළ යුතු බවත් ආර්ථික විද්‍යාඥ ඩබ්. ඒ. විජේවර්ධන පවසයි.

කෙසේ වෙතත්, ඉන්දීය ආර්ථික සහාය නිසා ලංකාවට මාස කීපයක් පණ ගැටගසාගැනීමට හැකි වනු ඇත. අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වන පාඩු ලබන රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය හා ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වැනි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම සඳහා එම කාලය භාවිතා කළ හැකිය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි ආරම්භ වීමත් සමග 2022 වසරේදී 5.5%කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ශ්‍රී ලංකාව ජනවාරි 18දා ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක මුදල් ආපසු ගෙවීමට සැලසුම් කර තිබේ. ජනවාරි 24 දින ඩොලර් මිලියන 150ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව වෙන්දේසියක් කර තිබේ.