Gotabaya Rajapaksa

ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය මර්දනයේ කතාව

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ආණ්ඩුවේ කයිවාරු කොතරම් වුණත්, රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති බවක් නම් නොපෙනේ. එසේම, රට තුළට ගෙන්වා බෙදාහැරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය තොගවල වටිනාකම රුපියල් බිලියන ගණන්ය. ඒ අසුවෙන ඒවාය. අසු නොවන ඒවා ගැන දන්නේ කවුරුද?

මෙතරම් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේදී හසුවන්නේ මෙරට මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන නිසාද? එම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම් හසුරුවන්නේ කවුරුද?

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාලයේදී එවැනි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යයි සැකයට භාජනය වූ දේශපාලකයකුගේ නිවස ආරක්ෂක අංශ ලවා වැටලෙව්වේය. එහෙත්, ඒ වනවිටත්, එම පුද්ගලයාට ඉහළින්ම ඔත්තු ලැබී තිබෙන්නට හැකිය. වැටලීමෙන් පසු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයෙන් ගොස් එම දේශපාලකයා සිප වැළඳගත්තේය. අද වන විට ඔහු ගෝඨාභය රාජපක්ෂගේ රජයේ ඇමතිවරයෙකි.

එක්තරා මාධ්‍ය ආයතනයකට ද මත්ද්‍රව්‍ය චෝදනා එල්ල විය.

මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා කුඩු ලාල් ලෙස නම් ලබා සිටි පුද්ගලයකු වූ ලාල් පීරිස් ස්වාධීනව තරග කර දිනා කොළඹ නාගරික මන්ත්‍රීවරයකු විය. පසුව පළාත් සභාවට ද තරග කරන්නට ඔහු සූදානම් වුණේ ය. නාම යෝජනා භාර ගැනීම ප්‍රකාශයට පත් කරන්නටත් පෙර සිට ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළ හේ පෝස්ටර් ගැසුවේ හමුදා ප්‍රධානීන්ගේ රූප ද සමග ය. පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යන්නට ද ඔහුට සැලසුම් තිබිණි. ඔහු ඒ සඳහා සල්ලි බෙදන සංවිධානයක් ද ලාල් පීරිස් පදනම යන නමින් ආරම්භ කර තිබිණි.

මේ කුඩු ලාල් ඇමති මර්වින් සිල්වාගේ ප්‍රධාන ගෝලයෙකි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගේ පාතාල විරෝධී මෙහෙයුමේදී කුමක් හෝ හේතුවක් නිසා ඉලක්කයක් වී සිටි කුඩු ලාල්ව රටින් පන්නා ගැනීම පිණිස ඇමති මර්වින් සිල්වා පෞද්ගලිකව ම මැදිහත් වී කුඩු ලාල් ගුවන් යානයට නංවා එය පිටත් වන්නට මොහොතක් තිබෙන තුරු එහි නැඟී කුඩු ලාල් අසල ම සිටියේ ය.

ජාවාරම්කරුවන් ඉවත් වුණත්, ජාවාරම නවතින්නේ නැත.

දැන් පෙනෙන ආකාරයට ඇතැම් දේ කණපිට හැරී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාලයේදී මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයන් දැන් ටයි කෝට් ඇඳගෙන පාර්ලිමේන්තු පැමිණ ජනාධිපතිවරයා වෙනුවෙන් විපක්ෂයට බැන අඬගසයි.

ඒ අතර, කුඩු ජාවාරම් ගැන බොහෝ තොරතුරු දන්නා පුද්ගලයකු ලෙස සැලකුණු මාකඳුරේ මධුෂ්ව පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩිතබා මරා දමන ලදී.

අලුතෙන් මහජන ආරක්ෂක ඇමති ධුරයට පත් වූ සරත් වීරසේකර ද මත්ද්‍රව්‍ය මඬින බවට පුරසාරම් දෙඩුවේය.

මත්ද්‍රව්‍ය මර්දනයේදී වැඩිපුරම අත්අඩංගුවට පත්වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හා ළඟ තබාගත් අයයි. ඇතැමෙකු සුළු ජාවාරම්කරුවෝය. තෝරු, මෝරු හසුවන්නේ නැත. ලංකාවේ මත්ද්‍රව්‍ය හිඟවන්නේ ද නැත.

ඒ අතර මේ රටේ මහජනතාව මහරදී වෙඩිතබා මරාදැමූ රිමාන්ඩ් සිරකරුවන් පවා මත්ද්‍රව්‍ය වැරදිකරුවන් යයි හංවඩු ගසා මරණ සාධාරණීකරණය කරති. මත්ද්‍රව්‍ය මර්දනයේ කතාව එසේය.