Samson and Delilah by Peter Paul Rubens

ඩිලයිලා, ඇවිලෙනසුලුයි හා නිධානය

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ ප්‍රචණ්ඩත්වය හා කාන්තාවට එරෙහි හිංසනය තේමා කරගත් විශිෂ්ට සිනමා කෘති කිහිපයක් තිබේ. නිධානය, දඩයම, දැකල පුරුදු කෙනෙක් හා චින්තන ධර්මදාසගේ අලුත්ම චිත්‍රපටය වන ඇවිලෙනසුලුයි ක්ෂණිකව සිහිපත් වූ චිත්‍රපට කිහිපයකි.

පසුගිය දිනෙක ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ නිධානය චිත්‍රපටය නරඹන අතරතුර මට ටොම් ජෝන්ස්ගේ ඩිලයිලා ගීතය මතක් විය.

තමාට ද්‍රෝහී වූ පෙම්වතිය මරා දැමූ ආදරවන්තයකු පොලිසිය පැමිණ දොර කඩා ඔහු අත්අඩංගුවට ගන්නට පෙර පෙම්වතියගෙන් සමාව අයදිමින් ගායනා කරන මෙම ගීතය රසවිඳින්න. එහි ගායනය, සංගීතය හා පද විසින් නිර්මාණය කරන රසය අපූර්ව ය. එසේම, නැවත වෙනත් නිර්මාණයකින් විඳිය හැකි එකක් ද නොවේ.

ඩිලයිලා චරිතය බයිබලයේ ද සඳහන් වන්නකි. බලවත් සැම්සන් ඇයට ආදරය කළේ ය. පිලිස්තීනුවන්ගේ නායකයා සැම්සන්ගේ බලය උපදින මූලාශ්‍රය කුමක්දැයි සොයා දන්වන්නට ඇයට අල්ලස් දෙයි. සැම්සන්ගේ බලය ඇත්තේ හිසකෙස්වල බව සොයාගන්නා ඩිලයිලා ඇය ඔහු පිලිස්තීනුවන්ට පාවා දෙයි.

ඩිලයිලා යනු ගීතයේ කථකගේ බිරිඳ නොවේ. ඔහුගේ පෙම්වතියයි. එහෙත්, ඔහු ඇය ඔහුගේ ගැහැණිය යයි සිතයි. ආදරය කරන අනෙකා ඔබේ දේපලක් ද? ඇගේ නිවසේ ජනෙල් තිරය මත ඇගේ ආලිංගන ඡායාව දකින පෙම්වතා කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් වියරුව ඇය මරා දමයි. ආදරය අනෙකා මත ප්‍රචණ්ඩ ආක්‍රමණයකි. මෙම ගැහැණිය තමන් කැමති මිනිසකු සමග සංසර්ගයේ යෙදෙනු ආදරවන්තයාට ඉවසිය නොහැකි විය. මිනිස් ඉතිහාසය පුරාම දිවෙන ලිංගික ඊර්ෂ්‍යාවේ හා ආදරය සමග සමීපව බැඳුණු වෛරයේ පාපයෙන් අප ගැලවෙන්නේ කවදා ද?

මෙම ගීය කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන්නක් ලෙස හෙළාදැකීමට පවා ලක් වී ඇතැම් අවස්ථාවල එය ගායනා කිරීමට එරෙහි වාරණ ද පනවන ලදී.

කෙසේ වෙතත්, කලාකරුවා යනු ක්‍රියාමාලා ක්‍රියාකරුවෙකු නොවේ. කලාකරුවා කරන්නේ යථාර්ථය කලාත්මක අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමයි. කලා කෘති සම්බන්ධයෙන් සදාචාර විනිශ්චයන් කිරීම අර්ථ විරහිත ය.

ඩිලයිලා අතිශය සුන්දර ගීතයකි. එහි පද පහත දැක්වේ. ටොම් ජෝන්ස් 1968දී එය සජීවීව ගායනා කළ වීඩියෝවක් ඊටත් පහත දැක්වේ.

I saw the light on the night that I passed by her window
I saw the flickering shadow of love on her blind
She was my woman
As she deceived me I watched and went out of my mind

My my my Delilah
Why why why Delilah

I could see, that girl was no good for me
But I was lost like a slave that no man could free
At break of day when that man drove away I was waiting
I crossed the street to her house and she opened the door
She stood there laughing
I felt the knife in my hand and she laughed no more

My my my Delilah
Why why why Delilah
So before they come to break down the door
Forgive me Delilah I just couldn’t take any more

ඇවිලෙනසුලුයි චිත්‍රපටයේ ඉන්ද්‍රචාප ලියනගේ එම්.එස්. ප්‍රනාන්දුගේ මැනිකෙ මම ආයෙ ගෙදර එනවා ගීයට දෙන නව අර්ථකථනය ද අතිශය සුන්දර ය. ප්‍රචණ්ඩත්වය මතු කරන චිත්‍රපටයක අවසානයේ එකී ප්‍රචණ්ඩත්වයෙන් ම මතු වන රිද්මයකින් යුතුව ගායනා කරනු ලබන්නේ අවිහිංසාවේ හා සාමයේ ගීතයකි.

ඩිලයිලා එසේ නැත. එහි ගායනා කරන්නේ ප්‍රචණ්ඩත්වයේ පශ්චාත්තාපයයි. එහි ඇති සර්වකාලීන සුන්දරත්වය ද එයයි.