“හිතන්න පුළුවන්” මිනිසුන් රටකට මොකටද?

නිශාන්ත කුලරත්න

විශාල ව්‍යසනයක් සිදුවූ විටක, අපට ඒ සදහා ප්‍රතිචාර දැක්විය හැකි ආකාර දෙකක් තිබෙනවා.

පළමු ආකාරය තමයි, තමන්ට පෙනෙන්නට තිබෙන කරුණු සහ ඒ මොහොතේ දැනුණු ආවේගය මත පදනම් ව නිගමනවලට එළඹීම සහ කටයුතු කිරීම. දෙවැන්න, තමන් සතුව ඇති සංකල්ප හරහා එම සිදුවීම තේරුම්ගන්නට උත්සාහ කරමින් ඒ ගැන ඇති සැකයන් එවැනි අනෙක් අය සමග සාකච්ඡා කර නිගමනයකට පැමිණීම.

මෑතකදී අපේ රටේ ඛේදවාචක දෙකක් සිදුවුණා. මින් පළමුවැන්න අවසානයේදී බොහෝදෙනා කටයුතු කළේ ඉහත පළමු ආකාරයටයි. දෙවැන්නෙන් පසුව බහුල ලෙස දකින්නට ලැබුණු “බුද්ධිය පාවිච්චි කරමු”, “මොළෙනුත් වැඩක් ගමු” වැනි අදහස් මතුපිටින් දකින කෙනෙකුට මේ වනවිට එම තත්ත්වය වෙනස්ව ඇති බවක් හිතෙන්න පුළුවන් වුණත්, ඒවා කොපමණ අවංකද කියන ප්‍රශ්නය ඉතිරි වෙනව. මොකද “බුද්ධිය යොදවලත් ප්‍රශ්න විසඳන්නට පුළුවන්” යන අලුත් දැනුම නිර්මාණය වීමට පෙරාතුව බොහෝ දෙනෙක් කරමින් සිටියේ ඇත්තටම එවැන්නක් කරන්න ගිය අය හෙළා දැකීම නිසා.

එක අතකට මේක අපේ සමාජයටම විතරක් ආවේණික දෙයකුත් නෙමෙයි. සොක්‍රටීස්ට වසදීමේ සිට, නට්සින් විසින් පොත් ගිනි තැබීම හරහා අයිසිස් ත්‍රස්තයන් විසින් මිථ්‍යාදෘෂ්ටිකයන් මරා දැමීම දක්වා තියන පොදු මනෝභාවයක්. 

ඒක තමයි “අපි විදිහට හිතන්නෙ නැති, අපේ වගේ ලේ කකියන්නෙ නැති මේ වගේ උන් ජීවත් වෙන්නෙ ඇයි?” මනෝභාවය.

ඇත්තටම හිතන්න පුලළුවන් මිනිසුන් සමාජයට අවශ්‍ය නැද්ද?

පෙනෙන දෙයම බාරගන්න, දැනෙන දෙයම ක්‍රියාවට නගන මිනිසුන් විතරක් හිටියනම් කොච්චර හොඳද?

සිඩ්නි ලුමේ අධ්‍යක්ෂණය කළ 12 Angry Men (1957) චිත්‍රපටය, මේ ප්‍රශ්නවලට පිලිතුරු සොයායාමේදී අපට ආලෝකයක් දෙන්න සමත් කෘතියක්. (මෙය අතුල පතිරණ විසින් “දොළහක්” නමින් සිංහල වේදිකාවටත් ගෙන ආව. එයත් ප්‍රශස්ත නිෂ්පාදනයක්). මේ චිත්‍රපටයට පදනම් වන්නේ ජූරි සභිකයන් දොලොස් දෙනෙකු අතර ඇතිවන සංවාද, විවාද, මතගැටුම් මාලාවක්. ඔවුන් ඉදිරියේ තියෙන්නෙ මිනීමැරුම් නඩුවක්. චූදිතයා, සිය පියා මරාදැමීම සම්බන්ධයෙන් වරදකරු වූ නාගරික පැල්පත්වාසී (slum) ගැටවරයෙක්. පෙනෙන්නට තිබෙන සාධක සියල්ලටම අනුව ඔහු වරදකරුවෙකු නිසා සභිකයන් එකොලොස්දෙනෙකුම ඔහු වරදකරු බව නිගමනය කරනව. ඉතිරි ජූරි සභිකයා (ඔහු අංක 8) පවසා සිටින්නේ තමන්ද අන්අය දුටු සාක්ෂිම දැක ඇති බව සහ අන්අය නිගමනය කළ පරිද්දෙන්ම චූදිත තරුණයා වැරදි වීමටද ඉඩ ඇතිමුත් ඒ ගැන ඉතිරි සාමාජිකයන් සමග සාකච්ඡා කර තමා තුළ දැනට පවතින සැකයන් දුරු කරගැනීමෙන් පසුව මිස නිගමනයකට තමාට එළඹිය නොහැකි බවයි. එයට හේතුව වන්නේ මෙතන පවතින්නේ පුද්ගලයෙකුගේ ජීවිතය හා මරණය සම්බන්ධ තීරණයක් වීම බවත් ඔහු පවසනවා.

විය යුතු පරිද්දෙන්ම මෙය සෙසු සාමාජිකයන් තුළ ඇති කරවන්නේ ප්‍රසාදජනක හැගීමක් නෙමෙයි. දැනටමත් හොඳින්ම පෙනී යන දෙයක් ගැන කතා කරමින් හිඳීම කාලය නාස්ති කරදැමීමක් බවයි ඔවුන් දකින්නෙ. කණ්ඩායමේ සිටින වැඩිමහලුම සාමාජිකයා වන 9 වන ජූරි සභිකයා ඒ ගැන දරන්නෙ වෙනස් මතයක්. “මේ මහත්මයාට තියෙන්නෙ අපිට තියනව වගේ නිශ්චිත නිගමනයක් නෙමෙයි. ඔහුට තියෙන්නෙ අඩමානයක්. එවැනි අදහසක් අපි එකොළොස් දෙනා ඉදිරිපිට කියන්න ගියොත් අපේ සමච්චලයට ලක්විය හැකිබවත් ඔහු දන්නව. එය දැන දැනම තම මතය වෙනුවෙන් පෙනී සිටීමට ඔහු තුළ පැවති ධෛර්යයට ගරු කිරීමක් වශයෙන් අපි ඔහුට ඇහුම්කණ් දිය යුතුයි.” ඔහු කියා සිටිනවා.

එතැන් සිට මේ දොලොස්දෙනා අතර ඇති වන කෝපය ප්‍රකාශ කිරීම්, කරුණු විමසා බැලීම් මාලාවක් හරහා කතාව තවදුරටත් ඉදිරියට ඇදෙනව. ඒ තුළ කලින් පැවති නිගමනයන් ගැන නැවත සිතා බැලීමට හැමදෙනෙකුම පෙළඹෙනව. පැල්පත්වාසීන් කෙරෙහි මධ්‍යම පාන්තිකයන් තුළ පවතින පූර්ව අගතීන්, තරුණ පිරිමි දරුවන් ගැන පියවරුන්ට පවතින අමිහිරි පුද්ගලික අත්දැකීම්, සියල්ල “හැකිතාක් ඉක්මණින් ඉවර කර” තම පෞද්ගලික වැඩ කටයුතු වෙතට නැවත පැමිණීමේ උවමනාව වැනි දේ නිගමනවලට කෙතරම් බලපෑවාද යන්නත් ඒ සංවාදය තුළම පැහැදිලි වෙනව. ඒ වගේම කලින් නඩුවේ “සාක්ෂි” වශයෙන් දුටු දේවල් කෙතරම් වෙනත් සාධක (සමාජයේ අවධානයට පාත්‍රවීම) මත රඳාපවතින්න ගන්නවද යන්නත් සාමාජිකයන්ම සාකච්ඡා කරනව.

අවසානයේදී දොළොස්දෙනාම චූදිතයා නිවැරදිකරු බව ඒකමතිකව තීරණය කරනව. ඒවගේම තමන් අතින් සිදුවන්නට ගිය වැරැද්දක් නිවැරදි කරදීමට දායකවීම සම්බන්ධයෙන් අට වෙනි සාමාජිකයා වෙත ස්තූතිවන්ත වීමකුත් කතාවේ අගභාගයේ දකින්නට ලැබෙනව.

මේ කතාවේ අංක 8 සභිකයාගේ භුමිකාව ඉතාම තීරණාත්මකයි. ඔහු කිසියම් “දැනුමක්” දේශනා කරන්නෙකු නොවෙයි. ඇත්තෙන්ම ඔහු සතුව ඇත්තේ “නොදැනුමක්”. අංක 9 සාමාජිකයා ඉතාම නිවැරදිව හඳුනාගන්නා ආකාරයට ඔහු පවසන්නේ සිය සැකය සාකච්ඡාවට ගත යුතු බවයි. ඉතිරි සාමාජිකයන් එකොළොස්දෙනාගෙන් අංක 8 සාමාජිකයා වෙන්කරන එකම එක සාධකයක් විසින් පමණයි. එනම්, තමන් ඉදිරිපිට ඇති ප්‍රශ්නය සහ ඒ ගැන ගන්නා තීරණය වගකීම් සහගත දෙයක් වශයෙන් ඔහු විසින් සැලකීම.

ඔහු විසින් ලබාදෙන ලද උත්තේජනය නිසා හැම සාමාජිකයාම මේ වන තුරු තමන්ට “පැහැදිලිවම පෙනෙන්නට තිබුණු” දේවල් ගැන නැවත සිතනව. යම්දුරකට පසුව, අංක 8 සාමාජිකයාගේ බලපෑමකින් තොරවම හැම දෙනෙකුම තමන්ගේ කලින් පැවති නිගමනවල අඩුපාඩු හඳුනාගන්නවා. අවසාන තීරණය සිදුවන්නේ එම සංවාදයේ ප්‍රතිඵල නිසා මිස අටවැන්නාගේ සිතැඟියාවක් අනුව නෙමෙයි.

සමාජයක හිතන්න පුළුවන් මිනිසුන් ඉඳීම වැදගත් වෙන්නෙ ඒ නිසයි. එහෙම මිනිසුන් වැඩිපුර ඉන්න සමාජයක් ආරක්ෂිතයි. එහෙම වුණු විටක මිනිසුන් තමන්ට නොතේරෙන දේවල්වලට වෛර කරන්නෙත් නැහැ. හිට්ස් වැඩිකරගන්න පේජ් ඇඩිමින්වරු දාන පෝස්ට් හෝ වීව්ස් වැඩි කරගන්න චැනල්කරුවන් දාන නිව්ස් දැක්ක ගමන් කලබල වෙන්නෙත් නැහැ. දේශපාලකයන්ට තියන ප්‍රශ්න තමන්ගෙ ප්‍රශ්න කරගන්නවා වෙනුවට, තමන්ගෙ ඇත්තම ප්‍රශ්නම හඳුනාගැනීමටත් ඒ විදිහෙ සමාජයකට පුළුවන්.

කොටින්ම කියනවනම් ජීවත් වීම පිලිබද බලාපොරොත්තුවක් ඇති කරගන්නවත් පුළුවන් ඒ විදිහෙ සමාජයක් තුළ විතරයි.