ශ්‍රී ලංකාව සොයමින් සිටි ක්‍රිකට් ජය ලැබිණි (with highlights)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සමග ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය පිළිබඳ ඇතැමෙකු එතරම් සතුටු නොවුණත්, එය ශ්‍රී ලංකාව සොයමින් සිටි සන්ධිස්ථානීය ජයග්‍රහණයක් විය හැකි බව අපේ අදහසයි.

ඇෆ්නිගස්තානය ශක්තිමත් කණ්ඩායමකි. ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10ක් ම ඊයේ ශ්‍රී ලංකාව අතින් පරාජය වූ කණ්ඩායම නියෝජනය කළ හ.

මෙම තරගයේ කාසියේ වාසිය ලැබුණේ ද ඇෆ්ගනිස්තානයට බව අප අමතක නොකළ යුතු ය. ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ගත්ත ද මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ඔවුන්ට පන්දු ඕවර 36.5කදී ලකුණු 201කට සියල්ලන් ම දැවී ගිය හ.

වැස්ස නිසා බාධා සිදු වූ තරගයේදී පන්දු ඕවර 41කදී ලකුණු 187ක ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානයට ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය නිසා පන්දු ඕවර 32.4කදී සියල්ලන් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 152ක් පමණි. ලකුණු 31කට කඩුලු හතරක් ලබාගත් නුවන් ප්‍රදීප්ගේත්, ලකුණු 36කට කඩුලු තුනක් ලබාගත් ලසිත් මාලිංගගේත් පන්දු යැවීම සහ දිමුත් කරුණාරත්න විසින් ලකුණු 43ක් ලබා සිටියදී නජිබුල්ලා දුවද්දී දැවී යාමට ලක් කරගැනීම ද ජයග්‍රහණයට මූලික විය.

අර්ධ අවසන් පූර්ව තරගවලට තේරෙන කණ්ඩායම් හතර වෙනුවෙන් තරග කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට මේ සමග යම් දුරකට හිමි වී තිබේ. දැනටමත් දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය තමන් සහභාගි වූ තරග දෙකම පරාජය වී තිබේ. කෙසේ වෙතත්, මේ සෑම කණ්ඩායමක් ම මූලික වටයේදී අනෙකුත් කණ්ඩායම් සමග තරග කිරීමට නියමිත ය. මේ වන විට ශ්‍රී ලංකාව ලකුණු දෙකක් ලබාගෙන තිබේ. තරග දෙක බැගින් සහභාගි වූ කණ්ඩායම් පහක් අතරින් දැනට ඉදිරියෙන් සිටින්නේ එක් තරගය බැගින් ජයගත් ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පකිස්තානයයි.

ඇෆ්ගනිස්තානය සමග ජයග්‍රහණය සුළුවෙන් තකන ක්‍රීඩාලෝලීන්ට කීමට තිබෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ පළපුරුදු කණ්ඩායමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගාගැනීමට අවශ්‍යව තිබුණු ඉතා වැදගත් ජයග්‍රහණයක් බවයි. ක්‍රීඩාලෝලීන් ලෙස අපගේ වගකීමක් වන්නේ ඔවුන් දිරිගැන්වීමයි.

මේ හයිලයිට්ස් බලන්න. එය සුළු ජයග්‍රහණයක් නොවේ.