Kusal Perera

ශක්තික සත්කුමාරගෙන් පසු කුසල් පෙරේරා ද?

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත සැමට සාධාරණ අන්දමින් භාවිතා වනවා ද?

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ මාධ්‍යවේදී කුසල් පෙරේරාට සහ ඩේලි මිරර් පුවත්පතට එරෙහිව කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කර තිබෙන බව Sri Lanka Mirror වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ. මේ වන විට ලේඛක ශක්තික සත්කුමාර ද ඔහු විසින් ලියන ලද කෙටිකතාවක් විසින් බෞද්ධ ආගමේ සංකේතාත්මක චරිත හා භික්ෂූන් විවේචනයට ලක්වීම හේතුවෙන් මෙම පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියි.

Sinhala Tamil English Translations and Content Writing

කුසල් පෙරේරාට එරෙහිව කටයුතු ආරම්භ කර තිබෙන්නේ පසුගිය මැයි 17දා ඔහු විසින් ඩේලි මිරර් පුවත්පතට ලියන ලද “From Islamic terrorism to marauding Sinhala Buddhist violence” හෙවත් “ඉස්ලාම් ත්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප්‍රචණ්ඩත්වය දක්වා” යන ලිපිය සම්බන්ධයෙනි.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මෑතක සිට පොලිසිය විසින් ඇතැම් පුද්ගලයන්ට එරෙහිව භාවිතා කරන්නට පටන් ගෙන තිබෙන බව දක්නට ලැබේ.

මෙම පනත අනුව, කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතු ය.

මේ මොහොත වන විටත්, මෙම වරද ඇතැම් මාධ්‍ය විසින් සහ ඇතැම් දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට එරෙහිව සුලබව කරමින් සිටින ආකාරය දැකිය හැකි ය.

මෙම පනත යටතේ ගැනෙන වරදකට වරදකරු බව මහාධිකරණ නඩු විභාගයකින් පසු ඔප්පු වුවහොත් වරදකරු අවුරුදු 10කට නොවැඩි දඬුවමකට ලක් කළ හැකි ය.

මෙම පනතෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මෙම පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබාදිය නොහැකි වීමයි. ඇප ලබාදීම කළ හැක්කේ සුවිශේෂ තත්වයන් යටතේ මහාධිකරණය විසින් පමණි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ප‍්‍ර‍වර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම්වලට යටත් වෙමින් ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වෙනි දින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අත්සන් කළේ ය.

කේන්ද්‍රීය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සනාථ කිරිම සඳහා නීති සම්පාදනය කරමින් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත බලාත්මක කරන ලදී.