වේදනාත්මක නොවන මරණීය දණ්ඩනයක් වෙනුවෙන් නඩු කියූ රසල් බක්ලූ

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැඩි උනන්දුවක්, ආසාවක් තිබෙන බව පෙනෙනවා 43 වසරක් තිස්සේ ලංකාවේ ක්‍රියාත්මක නොවන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරලා කාව හරි එල්ලා මරන්නට.

මෙම ඡායාරූපයේ ඉන්න රසල් බක්ලූ මරණීය දණ්ඩනයට ලක් වුණ ඇමරිකානුවෙක්. 1996දී මිසුරි ප්‍රාන්තයේදි ඔහු මරණීය දණ්ඩනයට ලක් කරනු ලැබුවේ ඔහුගේ හිටපු පෙම්වතියට තර්ජනය කර දූෂණය කිරීම, ඇගේ පුතාට වෙඩි තැබීම හා ඔවුන්ට රැකවරණය දුන් පුද්ගලයා මරාදැමීම යන චෝදනාවලටයි.

ඔහු පිළිබඳ නඩු විභාගයක් පසුගියදා සිදු වුණා. ඇමරිකාවේ ඇතැම් එක්සත් රාජ්‍යවල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුණත්, සියවසකටත් වැඩි කාලයක සිට ඇසුණු නඩුවල තීන්දු ඔස්සේ අසාමාන්‍ය හිංසනයෙන් හා කෘරත්වයෙන් තොරව වේදනාවෙන් තොර මරණයකට ලක්වන්නට මරණීය දණ්ඩනයට ලක් වී සිටින පුද්ගලයාට තිබෙන අයිතිය පිළිගෙන තිබෙනවා.

මිසුරිහි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ අධික මාත්‍රාවකින් පෙන්ටොබාබිටල් විෂ එන්නත් කිරීමෙන්. රසල් බක්ලූට දුර්ලභ රෝග තත්වයක් තිබෙනවා. ඒ අනුව, ඔහුගේ බෙල්ලේ, හිසේ හා උගුරේ රුධිර නාල කැටි වී ගැටිති ඇති වෙනවා. එම ගැටිති පහසුවෙන් පුපුරා රුධිරය පිට වන නිසා විෂ එන්නත හේතුවෙන් ඔහුගේ උගුර රුධිරයෙන් හිර වී ඔහු විනාඩි කීපයක් හුස්ම හිර වී වේදනාත්මක මරණයකට ලක්වන්නට ඉඩ තිබෙන නිසා, මරණීය දණ්ඩනය වෙනස් කරන ලෙසයි බක්ලූ ඉල්ලා සිටියේ.

එහෙත්, පහට හතර ලෙස බෙදුණු තීන්දුවකින් අධිකරණය පසුගිය අප්‍රේල් 1දා බක්ලූගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම මරණීය දණ්ඩනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන කෘර හා අසාමාන්‍ය දණ්ඩනයෙන් ආරක්ෂාව සලස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අටවන සංශෝධනයේ ප්‍රතිපාදන උල්ලංඝනය නොවන බවයි එක්සත් රාජ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන්නේ.

රසල් බක්ලූ සිය මරණ දඬුවම සඳහා යෝජනා කළ මුඛ ආවරණයක් ඔස්සේ ශුද්ධ නයිට්‍රජන් භාවිතා කිරීමේ ක්‍රමය ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය කිසිදු රාජ්‍යයක පරීක්ෂාවට ලක් කර නැති බවයි ඔවුන් පවසන්නේ.

මිසුරිහි මරණ දඬුවම ක්‍රියාත්මක කරන ඇඳ
Photo credit: AP