වෙබ් අන්තර්ගතයක් සංස්කරණය කරන හැටි

අජිත් පැරකුම් ජයසිංහ (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේ පාඩමක් ඇසුරෙනි)

ලංකාවේ ලේඛකයන් සංස්කාරක භූමිකාව ගැන ඒ තරම් දැනුවත් නැහැ. ඒ නිසා ඇතැමෙකු සංස්කාරකගේ මැදිහත්වීමට කැමතිත් නැහැ. ලංකාවේ ලිඛිත මාධ්‍යවල බොහෝ විට සංස්කරණයක් සිදුවන්නේත් නැහැ. ඇතැම් විට ලේඛකයා ලියන ලිපි අක්ෂර දෝෂත් එක්කම පළ කරන පුවත්පත් ලංකාවේ තිබෙනවා. වෙබ් අඩවිවලට යන විට නම් තත්වය ඛේදනීයයි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

අපි ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසායක පුහුණුව ආරම්භ කළේ පැහැදිලි අරමුණක් ඇතිවයි. ප්‍රජා කියන්නෙ තවත් එක් වෙබ් අඩවියක් නෙමෙයි. අපි පුරවැසි මාධ්‍යකරණයේ නව ඉසව් සොයා යමින් ඉන්නවා. හුදු මාධ්‍යකරණයෙන් හා සමාජ සේවයෙන් ඔබ්බට ගොස් නවීන තත්වයන්ට ඔබින, සෝඩා බෝතල් නොවී තිරසරව පවතින්නට පුළුවන්, රට ගැන, ලෝකය ගැන හැඟීමක් ඇති හොඳ පුරවැසි මාධ්‍ය ව්‍යවසායකයන් පිරිසක් ගොඩනගාගැනීම වෙනුවෙන් තමයි අපි ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාව පටන් ගත්තෙ. අපත් එක්ක එකතු වූ 100ක් පිරිස එක්ක අපි දැනුම, අත්දැකීම් බෙදාහදාගනිමින් ඉන්නවා. ඔවුන්ගේ උනන්දුව අපේ බලාපොරොත්තු අවදි කරනවා.

සංස්කාරකවරයා අවධානය යොමු කරන පැතිකඩ කීපයක් තියෙනවා. පළමුවෙන් ම ලිපියේ තේමාව මොකක් ද කියන එක. එහි කාලීන වශයෙන් වැදගත්කමක් තිබෙනවා ද, එය කුමක් ද, එය මතු කරගන්නේ කෙසේ ද යන්න.

ඊළඟට ලිපිය ලියන්නේ කා වෙනුවෙන් ද, එය පළ කරන්නේ කොහි ද යන කාරණාත් සැලකිල්ලට ගන්නවා. 

ඒ අනුව, ලිපියේ අන්තර්ගතය ප්‍රමාණවත් ද යන්න ගැන සංස්කාරකවරයා අවධානය යොමු කරනවා. අන්තර්ගතය ප්‍රමාණවත් නැතිනම් එය සංවර්ධනය කරගන්නට ලේඛකයාට උපකාර කරනවා. 

ලේඛකයාගේ ලිපියේ අක්ෂර වින්‍යාසය, පද බෙදීම, ව්‍යාකරණ, පෙළගැස්වීම ආදී කරුණු ගැන තමයි ඊළඟට අවධානය යොමු කරන්නේ. එහිදී අදාළ ප්‍රකාශනයේ ප්‍රතිපත්තිත්, ලේඛකයාගේ ශෛලියත් යන දෙක ම ගැන සිතිය යුතුයි. 

ලිපියට අදාළ පසුබිම් විස්තර, ඡායාරූප, ඉන්ෆොග්‍රැෆික් වීඩියෝ ආදිය තිබේ නම් ඒවාත් ලිපිය සමග පළකරන්නට පුළුවන්. හැබැයි, කොයි දේත් කළ යුත්තේ ගානට. 

සංස්කාරකවරයකුගේ මේ කාර්යය ඉතා වැදගත්. ජනමාධ්‍යකරුවකු විතරක් නොවෙයි ලේඛකයකු වුණත් සංස්කාරකවරයකු සමග වැඩ කළ යුතුයි. සංස්කාරකවරයා දෙවන ඇසකින් අන්තර්ගතය දිහා බලනවා. සංස්කාරකවරයකු සමග වැඩ කිරීමෙන් මාධ්‍යකරුවකුගේ වෘත්තිකභාවය ගොඩනගාගත හැකියි. 

මෙම පාඩමේ මා ප්‍රායෝගික උදාහරණයක් දක්වන්නම්. පහත දැක්වෙන්නේ අපේ පාඨමාලාවේ සගයකු අපට මුලින් ම එවූ ලිපිය.

පොල් වගාවට අයඩීන් මිශ්‍ර ලුණු අහිතකරයි

අපට එදිනෙදා පරිභොජනයට පොල් නැතුවම බැරි දෙයක්.ඒවගේම අපේ දේශපාලකයන්ටත් විරුද්ධවාදීන්ට ගහන්න පොල් අවශ්‍යයි. පොල් පැළයක් පැළකීරීමට පෙර පසට ලුණු යම්කිසි ප්‍රමාණයක් මිශ්‍ර කිරීම සිදුකරනවා. ඒ පොල් පැළය සාර්ථකව වැඩීමට  පසේ ලවණ ගතිය අවශ්‍ය නිසයි. ඉස්සර කෑමට ගන්නා සාමාන්‍ය ලුණු ඒ සඳහා භාවිතා කළත්, දැන් වෙළඳපොලේ ඇති අයඩීන් මිශ්‍රකල ලුණු පොල් පැළ වලට යෙදීමට කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. පොල් පැළයට ලුණුවල ඇති අයඩීන් අහිත කර ලෙස බලපානවා. කොළ කහපැහැවීම , මළානික වීම , වර්ධනය බාලවීම වගේම ඇතැම් විට පොල් පැළය මැරීයාම පවා සිදුවෙන්න පුළුවන්. වැඩුනු පොල් ගස් වලටත් අයඩීන් මිශ්‍ර ලුණු අහිත කරයි. ඵළදාව නැති වීම අතු පහළට කඩා වැටීම වගේ නොයෙකුත් අහිතකර ප්‍රථීඵල ඇති විය හැකියි.

පොල් වගාවට යෙදීමට සුදුසු ලුණු මොනවාද?

පොල් වලට යෙදීමට සුදුසු අයඩීන් අඩංගු නොවන පොල් ලුණු පොහොර අළවිසැල්වලින් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ඇති අලවිසැල් වලින් ලබා ගැනීමට පුළුවන්.පොල් වගාවට කිසිවිටකත් වෙළඳපොළේ ඇති අයඩීන් යෙදූ කෑමට ගන්නා ලුණු නොයෙදීමට කල්පනාකාරී වන්න.

මේ ලිපියට සංස්කාරකවරයකු ලෙස මා දැක්වූ ප්‍රතිචාරය මෙසේ යි: මෙම ලිපිය සම්බන්ධයෙන් මට කීමට කරුණක් තිබෙනවා. අයඩින් මිශ්‍ර ලුණු පොල් වගාවට අහිතකර බව ඔබ ප්‍රකාශ කරන එක එතරම් සුදුසු නැහැ. හේතුව, ඔබ එසේ කීවා ම එය පිළිබඳ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් පාඨකයාට මතු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධ ප්‍රකාශයක් පොල් වගාව සම්බන්ධ විශේෂඥයකුගෙන් ලබාගන්න. මේක එච්චර අමාරු නැහැ. පොල් සංවර්ධන මණ්ඩලයේ අංකයට කතා කර ඔබ නිදහස් මාධ්‍යකරුවකු බව කියා මේ කාරණය ගැන විස්තරයක් දැනගැනීමට යමෙකු සම්බන්ධ කර දෙන ලෙස කියන්න. රජයේ කාර්යාලවල අලස ප්‍රතිචාරවලින් කලකිරෙන්නෙ නැතුව කතා කරලා විස්තර අහගන්න. එම විස්තරය කරන පුද්ගලයාගේ නම හා තනතුර සටහන් කරගන්න. එසේම, අයඩින් සහිත ලුණු පොල් පැළවලට හානිකර වෙන්නට හේතුව කෙටියෙන් විද්‍යාත්මකව පැහැදිලි කර දෙන්නට පුළුවන් නම් තවත් හොඳයි. 

මේ ලිපිය පටන් ගන්නකොට ඕනැ නම් කතාවක් වගේ අයඩින් සහිත ලුණු දාලා අලුත් පොල් වගාවකට හානි වුණ හැටි විස්තර කරන්නට පුළුවන්. ඒ වගේ ම හැකි හැම කෙනෙකු ම තමන්ගේ වත්තේ පොල් පැළයක් සිටුවාගැනීමේ වැදගත්කමත් සඳහන් කරන්නට පුළුවන්. 

මේ උපදෙසුත් එක්ක හිතලා ලිපිය නැවත ලියන්න.   

මීට අමතරව අපි දුරකථනෙනුත් මේ ගැන සාකච්ඡා කළා.

ඒ අනුව සංවර්ධනය කළ ලිපිය තමයි මේ. 


පොල් පැළයට අයඩීන් මිශ්‍ර ලුණු අහිත කරයි

“මේ එදා ගෙනාපු පොල් පැළේ නේද? මොකෝ මේ මැරෙන්න ගිහිල්ලා වගේ

“අනේ දන්නෑ..  මම පොහොර එහෙමත් දාලා හිටෙව්වේ … පොහොර වැඩිවුනාද මංදා

හිටවන්න ඉස්සෙල්ලා ලුණුත් දැම්මා……

“ලුණු…? මොන ලුණු ද දැම්මේ..?

“ආයේ ඕකට කියලා අමුතුවෙන් ලුණු ගෙනාවේ නෑ ඔය ගෙදර කෑමට ගේන ලුණු දැම්මේ

“ඒ කියන්නේ අයඩීන් දාපු ලුණු …..?  ඒක තමයි ප්‍රශ්ණේ…….

 නාගරික කුඩා ගෙවත්තක වුවත් පහසුවෙන් වගා කල හැකි අවුරුදු තුන හතරකින් ඵල දරන දෙමුහුම් පොල් විශේෂ තිබේ. කුන්දිරා උස දෙමුහුම් ප්‍රභේදය (සී.ආර්.අයි.සී.65) වැනි පොල් පැළ ගෙවත්තට අළංකාරයකුත් එක් කරයි. මේ දෙමුහුම් පොල් පැළ පොල් වගාකිරීමේ මණ්ඩලයේ තවාන් වලින් මිල දී ගත හැකිය. පොල් පැළයක් පැළ කිරීමේදී වැඩි අවධානයක් යොමු නොකරන කරුණක් ගැනයි මේ සටහන .

පොල් පැළයක් පැළකීරීමට පෙර පසට ලුණු එකතු කලයුතුයි. ඒ පොල් පැළය සාර්ථකව වැඩීමට  පසේ ලවණ ගතිය අවශ්‍ය නිසයි. ඉස්සර කෑමට ගන්නා සාමාන්‍ය ලුණු ඒ සඳහා භාවිතා කළත්, දැන් වෙළඳපොලේ ඇති අයඩීන් මිශ්‍රකල ලුණු පොල් පැළ වලට යෙදීමට සුදුසු වන්නේ නැහැ. පොල් පැළයට ලුණුවල ඇති අයඩීන් අහිතකර ලෙස බලපෑම ඊට හේතුවයි. කොළ කහපැහැවීම , මළානික වීම , වර්ධනය බාලවීම වගේම ඇතැම් විට පොල් පැළය මැරීයාම පවා ඒ නිසා සිදුවෙන්න පුළුවන්. වැඩුනු පොල් ගස් වලටත් අයඩීන් මිශ්‍ර ලුණු අහිත කරයි. ඵළදාව නැති වීම ,අතු පහළට කඩා වැටීම වගේ නොයෙකුත් අහිතකර ප්‍රථීඵල ඇති විය හැකියි.

පොල් වගාවට යෙදීමට සුදුසු ලුණු මොනවාද?

අප මේ පිළීබඳව ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට ක්ෂණික උපදෙස් ලබාදීම වෙනුවෙන් ඇති කෘෂි උපදේශන සේවාවේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ තාක්ෂණික නිලධාරිනියකගෙන් විමසීමක් කළා. ඇය ප්‍රකාශකර සිටියේ පොල් පැළයකට පැළකරන මුල් අවස්ථාවේදී ,වැඩෙන අවස්ථාවේදී අයඩීන් මිශ්‍ර කෑමට ගන්නා සාමාන්‍ය ලුණු යෙදීම නුසුදුසු බවය. ඇය සඳහන් කල ආකාරයට පොල් පැළ සඳහා යෙදීමට නිර්දේශ කරනුයේ අයඩීන් අඩංගු නොවන කැට ලුණු  හෝ මඩ ලුණුය.මේවා පොහොර අළවිසැල්වලින් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ඇති අලවිසැල් වලින් ලබා ගැනීමට හැකිය.යෙදිය යුතු මාත්‍රාව වන්නේ පැළකරන අවස්ථාවේදී එක් පැළයකට ලුණු කිලෝ එකක.

මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ඕනෑම දුරකථනයකින් කෘෂි උපදේශන සේවාවේ 1920 කෙටි දුරකතන අංකයට ඇමතීමෙන් ලබා ගැනීමට පුළුවන.

අවසන් සංස්කරණයෙන් පසුව, ලේඛකයා විසින් එවන ලද ඡායාරූපත් සමග ප්‍රජා වෙබ් අඩවියේ පළ කරන ලද ලිපිය මෙතනින් කියවන්න. මිනිස් ශරීරයට නැතුවම බැරි අයඩින් මිශ්‍ර ලුණු නිසා පොල් පැළ මැරෙන හැටි

මේවා පුංචි දේවල් වෙන්නට පුළුවන්. ඒත්, ඒ පුංචි දේ ඉගෙන ගන්නට උනන්දු පුංචි මිනිසුනුත් ඉන්න බව පෙනුණ නිසා සංස්කරණය පිළිබඳ ඒ පාඩම බෙදාහදාගන්නට හිතුවා. මාධ්‍ය කලා පුහුණුව දේශනවලින් පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. එය ප්‍රායෝගික වැඩක්.

අපත් එක්ක එකතු වන්න පහත බොත්තම ඔබා ලයික් කරන්න.