Rohana Wijeweera with Lionel Bopage

විජේවීරව අප්‍රිය කළ ඔහුගේ නෑනා

බර්ටි රණවීරගේ විසිනි

මෙය බොහෝ දෙනෙකු තවමත් නොදන්නා කරුණකි .එබැවින් එය ලියා තැබීම මගේ යුතුකමක් ලෙස සලකමි .

Sinhala Tamil English Translations and Content Writing

රෝහණ විජේවීරව තදින් අප්පිරියා කළ, ඔහු දැකීමට කොහෙත්ම අකමැති කාන්තාවක් වුයේ විජේවීරගේ මස්සිනා කෙනෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුගේ බිරිඳ වූ සුසිලා ජයවර්ධනය. ඇය ෂන්මුගදාසන් නායකත්වය දැරූ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිනියක් වුවාය්ඇ‍ ය කොපමණ භක්තිමත් පාක්ෂිකාවක් වුවද කියතොත් ඇය සතු කරාබු, මාල වළල, මුදු සියල්ලම පක්ෂයට පරිත්‍යාග කළ අතර ඉන්පසු ස්වර්ණාභරණ කිසිදිනක පැළඳුවේ නැත.

මේ ලිපියත් කියවන්න: දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල >>

ගුරුවරියක වූ ඇය 1979 දී ලංකා ගුරු සංගමයේ සභාපති වූ එච්. එන් ප්‍රනාන්දු (විජේවීරගේ බිරිඳගේ සහෝදරයෙකි) සමග විවාහ වූ අතර පදිංචි වුයේ මොරටුවේ විල්ලොරවත්තේ තිබෙන එච්.එන්.ගේ පාරම්පරික නිවසේය.

එකල මා ජවිපෙ සාමාජිකයෙකි. එච්.එන්. ද ජවිපෙ සාමාජිකයෙකු විය. කොම්පඤ්ඤවීදියේ තිබුණු ගුරු සංගම් කාර්යාලයේ මා සිටින විට මා හමුවූ ජවිපෙ දෙවෙනි පෙළ නායකයෙක්, එච්.එන්. හමුවීමට විජේවීර සවස විල්ලොරවත්තේ නිවසට එන බව දැනුම් දෙන ලෙස මට කීය.

මා එහි ගොස් එච්.එන්.ට ඒ බව කීවෙමි. එකල විජේවීර විවාහ වී නැත. මට තේ පැන් සංග්‍රහය කළේ පසු කලෙක විජේවීරගේ බිරිඳ වූ, එච්.එන්.ගේ නැගණිය චිත්‍රාංගනී විසිනි. ටික වෙලාවකින් නිවස තුළින් පොඩි පහේ රණ්ඩුවක් ඇසිණි. රණ්ඩු කළේ සුසිලාය. විජේවීර එන්නේ නම් තමාව එදින රාත්‍රියට වෙනත් තැනක නවත්වන ලෙස සුසිලා එච්.එන්.ට කියා තිබුණි. එච්.එන්. ඇය රැගෙන පානදුරයට ගොස් ඔහුගේ සහෝදරියගේ නිවසේ ඇය නවත්වා ආපසු ආවේය .

දිනක් ඇය පාසල් ගොස් ආපසු එන විට ජවිපෙ ක්‍රියාකාරිකයෙක් ජවිපෙ නිල පුවත්පතවූ ‘නියමුවා’ පිටපතක් ඇයට විකිණීමට උත්සහ කළ විට ඇගේ පිළිතුර වුයේ ‘ඕක ගිහිල්ල විකුණනවා තමුසෙලගෙ ලොක්කගේ නෝනට. එයා අර ගෙදරට වෙලා චිත්‍ර කතා පත්තර කියව කියව ඉන්නේ,” යි කීවාය.

විජේවීර විවාහයෙන් පසු විල්ලොරාවත්තේ පදිංචි වූ විට එච්.එන්. සහ සුසිලා පානදුරේ කුරුප්පුමුල්ලේ නිවසක් කුලියට ගෙන පදිංචි වුහ. එච්.එන්. ජවිපෙන් ඉවත්වීම නිසා විජේවීර ඔහු සමග නයි වයිර බැන්දේය. එච්.එන්.ගේ පොත් පත් දහස් ගණනක් විල්ලෝරාවත්තේ නිවසේ තිබුණු අතර ඒවා ඉල්ලුවොත් විජේවීර දෙන්නේ නැති බව දැන සිටි එච්.එන්. දිනක් වාහනයක් කුලියට ගෙන බිරිදත් සමග එහි ගොස් පොත් රැගෙන ආවේය. පොත් මිටි බඳින විට විජේවීර රවමින් කීපවරක් එහා මෙහා ගිය බව එච්.එන්. පසුව මා සමග කීය. සුසිලා ඔහු සමග නොසිටියේ නම් විජේවීර එම පොත් ඔහුට නොදී ඉන්නට ඉඩ තිබිණ. එසේ කරන්නට ගියහොත් ගැහැනියක් සමග රණ්ඩුවකට පැටලවීම අවාසි සහගත බව විජේවීරට කල්පනා කරන්නට ඇත .

සුසිලා 80 ජුලි වැඩ වර්ජනයට සහභාගිවීම නිසා රැකියාව ඇයට අහිමි කරනු ලැබිණ. ඉන් පසු ඇය ලේඛන කලාවට බැස කෙටි කතා සංග්‍රහ දෙකක් පල කළ අතර පුනරුත්පත්තිය මිථ්‍යාවක් බව සනාථ කරන කරුණු රැසක් ඇතුලත් ග්‍රන්ථයක්ද පළ කළාය. ඇය එම ග්‍රන්ථය ගැන විචාරයක් පුවත්පතක පලකර ගැනීමට උත්සහ කළත් එවැන්නක් ලිවීමට කිසිදු විචාරකයෙක් එඩිතර වුයේ නැත

පසු කාලයේ ඇය හේතුවාදීන්ගේ සංගමයේ කටයුතු කළ අතර මිට වසර අටකට පෙර පානදුරේ වෑකඩදී මියගියාය

ඇය මට අවසාන වරට හමුවුයේ 2008 වසරේදී කොළඹ පැවැත්වූ යුධ විරෝධී ව්‍යාපාරයේ හමුවකදීය. 

(බර්ටි රණවීරගේ වාමාංශික ක්‍රියාකරුවකු වන අතර ලංකා ගුරු සංගමයේ හිටපු සභාපතිවරයෙකි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වන ඔහු බ්ලොග්කරුවකු හා සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු ද වේ. sudukukula.blogspot.com ඔහුගේ බ්ලොග් අඩවියයි.)

Call 077 1734470 for Sinhala Tamil English Translations