ලංකාවේ මුස්ලිම් ජනගහනය වැඩි වීම පිළිබඳ අලුත් දත්ත

2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාර්ගික සංයුතිය සකසා දෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් කරන ලද ඉල්ලීමකට පිළිතුරු ලෙස ලැබුණු බව කියන කරුණු රැසක් පිවිතුරු හෙළ උරුමය පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍යවලට දැනුම් දුන්නා.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

අප සිතන පරිදි මෙම ලේඛන සහ උදය ගම්මන්පිලගේ තර්කය ඉදිරි කාලයේදී සිංහල සමාජය තුළ බිය ස්ථාපිත කිරීම සඳහා පුළුල් අන්දමින් භාවිතා කරනු ඇත. එය සිංහල සමාජය තුළ මෙන් ම දෙමළ සමාජය තුළ ද මුස්ලිම් භීතිකාවක් නිර්මාණය කිරීමට උපයෝගී කරගනු ඇත. සිංහල මෙන් ම දෙමළ ජාතිවාදය මත පදනම්ව දේශපාලනය කරන දේශපාලකයන් තම ඡන්ද පදනම් තුළ බලය ගොඩනගාගැනීම සඳහා මෙම තත්වය භාවිතා කරනු ඇත. මෙමගින් මුස්ලිම් ජනතාව පීඩනයට පත්කිරීම තව තවත් ඉහළ යනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් සමාජයේ අන්තවාදී ප්‍රවණතා ද දිරිගැන්වෙනු ඇත.

උදය ගම්මන්පිල විසින් මතු කර දක්වන ලද කරුණු මෙසේ ය:

“2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක් මුස්ලිම්. ඒ වසරේ දීම ළමා ජනගහනයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දියානු දෙමළ සහ 12%ක් මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනවර්ගවල ප‍්‍රතිශතය ඉහළ ගිහින්. නමුත් සිංහල පමණක් 75% සිට 71% දක්වා 4%කින් අඩු වෙලා. වැඩිම වර්ධන වේගයක් පෙන්වන්නේ මුස්ලිම්. මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා වැඩි වෙලා. 9 සහ 12 කුඩා ඉලක්කම් ලෙස පෙනුනත් එය බරපතල වර්ධනයක්. 33% වඩා වැඩි වර්ධනයක්,” යි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පුවත්පත් සාකච්ඡාවේදී පවසනවා.

“අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුළ සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මෙය අද තත්ත්වය නෙමෙයි. 2012 තත්වයයි. වත්මන් තත්ත්වය දැනගන්න වෙන්නේ 2021 පවත්වන ජන සංඝනනයෙන් පසුවයි. මෑත කාලයේ මුස්ලිම් ජනගහනයේ සීඝ‍්‍ර වර්ධනය දශක ගණනාවක් පුරා දකින්න ලැබෙන දෙයක්. 1953 දී 6%ක් වූ මුස්ලිම් ජනගහනය අවුරුදු 28කට පස්සේ 1981 දී වර්ධනය වී තිබුණේ 7% දක්වා පමණයි. නමුත් එයින් අවුරුදු 30කට පස්සේ 9% දක්වා වර්ධනය වෙලා. ළමා ජනගහනයේ ප‍්‍රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුළ මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.”

උදය ගම්මන්පිල පවසන පරිදි නිදහසින් පසු ප‍්‍රථම වතාවට 2012 දී ළමා ජනගහනය තුළ සිංහල ප‍්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා. ලංකාවට ආවේණික වූ සිංහල ජාතිය වඳවීම ආරම්භ වී ඇති බව මෙයින් පෙන්නුම් කරන බවයි ඔහු පවසන්නේ.

මෙම දත්ත මත පදනම් වන ජාතිවාදී දේශපාලනයන් ඉදිරි වකවානුවේදී රට තුළ අර්බුදකාරී තත්වය තවතවත් තීව්‍ර කිරීමට නියමිත බව ජාතිවාදී නොවන බුද්ධිමතුන්ගේ විශේෂ අවධානයට ලක් විය යුතු ය.

සුළු ජාතීන්ගේ ජාතිවාදයන් සුරතල් කරන සිංහල ජාතිවාදය පමණක් ඉලක්ක කර පහර දෙන රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සංහිඳියා වැඩසටහන් අනාගතයේදී සාර්ථක වන්නේ නැත.

සමාජ සංහිඳියාව වෙනුවෙන් අරගල කිරීම සඳහා අලුත් උපායමාර්ගයන් නිර්මාණය කරගත යුතුව තිබේ.

Thanks to Al-Jazeera for the photo