Rohitha Abegunawardena

රෝහිත අබේගුණවර්ධනගේ නම කියැවුණ හොර මත්පැන් ජාවාරම මොකක් ද?

2016 වසරට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය පිළිබඳ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 4.1කි. යුරෝපයේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය පවා ලීටර් භාගයක් පමණි.

දුම් සහ මත්පැන් පිළිබඳ ජාතික අධිකාරියේ තක්සේරු අනුව, ලාංකික පිරිමින්ගෙන් 35%ක් හා කාන්තාවන්ගෙන් 3%ක් මත්පැන් පානය කරති. එම සංවිධානය පවසන පරිදි මත්පැන් වෙළඳපොළේ නීත්‍යානුකූල භාගය 40%ක් වන අතර 60%ක් ම නීති විරෝධී ය.

නීත්‍යානුකූල මත්පැන් පානය කරන ජනයා මේ රටේ අති විශාල බදු ප්‍රමාණයක් ගෙවන්නෝ ය. සුරාබදු ආදායම රජයේ ප්‍රධාන ආදායමකි. 2017 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රු. බිලියන 114ක් විය. සුරාවෙන් මෙපමණ ආදායම් ගන්නා රජය ගුණාත්මක මත්පැන් පාරිභෝගිකයන් වෙත ලැබෙන බව ද තහවුරු කළ යුතු ය. එහෙත් එසේ වන්නේ නැත.

මේ තරම් කුණු වෙන්නට ගහලා මැරෙන්නට යන ලාංකිකයන්ට බාල අරක්කු විකුණා ඔවුන්ගේ ශරීරාභ්‍යන්තරය ජීර්ණය කර මුදල් උපයන ධනවතුන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ වෙති.

කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ නම ගෑවුණු, පසුගිය ජුනි 24දා කලුතරදී වටලන ලද හොර අරක්කු ගුබ්බෑයම වැනි නීති විරෝධී ස්කාගාර මේ රට පුරා පොල් වැවෙන, නොවැවෙන පරිසරයන්හි පැතිරී තිබේ.

මෙම ස්කාගාර පවත්වාගෙන යන්නේ පොල් රාවලින් අරක්කු නිෂ්පාදනය කරන මුවාවෙනි. ඔවුන්ට බලපත්‍ර හිමි ඒ වෙනුවෙනි. එහෙත්, මේ වන විට ස්කාගාර බහුලව තිබෙන නිරිතදිග වෙරළ තීරයේ රා මැදීම සිදු වන්නේ ඉතා අඩුවෙනි. මෙම ස්කාගාරවලට අවශ්‍ය තරම් රා නිෂ්පාදනයක් මෙම ප්‍රදේශවල සිදු වන්නේ නැත. මෙම හොර ස්කාගාර කරන්නේ බාල සීනි හා යූරියා වැනි අමුද්‍රව්‍ය පාවිච්චි කරමින් සාදන ලද කෘත්‍රිම රාවලින් අරක්කු පෙරීම බව කර්මාන්තය පිළිබඳ දන්නා ප්‍රදේශයේ පුද්ගලයකු නිර්නාමිකව අපට පැවසී ය.

එහිදී එක පැත්තකින් බාල මත්පැන්වලින් අධික ලාභ ලබන අතර අනෙක් පැත්තෙන් රජයට විශාල බදු වංචාවක් ද මෙම ස්කාගාර විසින් සිදු කරන බව එම ප්‍රකාශකයා පැවසී ය. මෙම ව්‍යාපාරය සල්ලි අච්චු ගහන්නා සේ ලාභදායී ජාවාරමක් බව ඔහු පෙන්වා දෙයි.

නීත්‍යානුකූල යයි කියන මත්පැන් අතරිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් ඇත්තෙන් ම හොර අරක්කු ය.

මෙම ජාවාරම සඳහා අවශ්‍ය රැකවරණය දේශපාලකයන්ගේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ අනුග්‍රහයෙන් සැපයේ.