රතන හිමියන්ගේ අලුත් සූත්‍රය කුමක් ද?

අජිත් පැරකුම් ජයසිංහ

මේ ලියන මා අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් හිරේ ද ගිය කෙනෙකි. ඒ 1986දී ඔහු අමතන රැස්වීමක් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් බස්නාහිර පළාතේ නගරයක සංවිධානය කරන්නට ගොස් ය. එය ප්‍රචාරයට පෝස්ටර් ගසමින් සිටියදී පොලිසිය අප ජවිපෙ සාමාජිකයන් යයි (ඉතා නිවැරදිව) නම් කරමින් අල්ලාගෙන ගොස් හදිසි නීතිය යටතේ මාස තුනකට පොලිස් කූඩුවේ රැඳවී ය. (පසුව මා එතනින් වාෂ්ප විය.)

රතන හිමි මට කිසි දිනෙක හමු වී නැත. 1989 කැරැල්ලෙන් පසු අප ජාතිවාදය සමග ගනුදෙනු නොකළ නිසා අපගේ මාවත් තවමත් එකිනෙක හමු වී නැත. කෙසේ වෙතත්, 2015දී නම් අප ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිනවීමට ක්‍රියා කළෙමු.

දැන් නම් අප ඔහු කීයටවත් නැවත දිනවන්නට කටයුතු කරන්නේ නැත. එහෙත්, රතන හිමි මේ දිනවල දිවා රෑ වෙහෙසෙන්නේ ඒ වෙනුවෙනි.

අසාද් සාලි, ඒ.එල්.එම්. හිස්බුල්ලා යන දෙපල ආණ්ඩුකාර තනතුරුවලින් ද, රිෂාඩ් බදුර්දීන් ඇමති තනතුරින් ද ඉවත් කරන්නැයි හා වඳ සැත්කම් කළ බව කියන දොස්තරලාට එරෙහිව ක්‍රියා කරන්නැයි කියමින් ඔහු දළදා මාළිගාව අබියස උපවාස කරන්නේ ඒ වෙනුවෙනි.

රතන හිමි උපන්නේ 1962 වසරේ නිසා මේ වන විට ඔහුට වයස හැටට ආසන්න ය. හැට පිරුණත් වඳුරා බිම නොයන බව සිංහල ජනවහරේ කියවේ. එමෙන් ම හැට පිරුණත් රතන හිමියන් ද බුදු මග නම් නොයනු ඇති බව පසුගිය දිනෙක කුරුණෑගල රෝහලේදී ඔහු වෙතින් පළ වූ චර්යාවෙන් පෙනේ.

දොස්තර ෂාෆි අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කළහොත් රටක් ඉතිරි නොකරන බව ඔහු එහිදී කීවේ 2006දී මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමට ගිය ගැම්මෙන් ම ය. කොටි සංවිධානයට එරෙහි යුද්ධය ආරම්භ වුණේ එතැනිනි. ඒ වන විට යුද්ධයට පසුබට වෙමින් සිටි රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය ගැම්ම එදා අරන් දුන්නේ රතන හිමි ප්‍රමුඛ ජාතික හෙළ උරුමය හා ජවිපෙ විසිනි.

රතන හිමි එදා අරන් දුන් ගැම්ම නිසා නොවේ නම් රාජපක්ෂලාට පුරාවෘත්ත වන්නට ලැබෙන්නේ නැති බව දැන් රාජපක්ෂලාට ද අමතක ය. එහෙත් අපට අමතක නැති නිසා අප නම් රතන හිමිගේ මේ අලුත් ම සූත්‍රය ගැන සිල්ලරට සලකන්නේ නැත.

ප්‍රජනන සෞඛ්‍යය වැනි නොදන්නා විෂයන් ගැන කතා කරද්දී මේ සමග දැක්වෙන පත්තර කෑල්ලේ තියෙන අපභ්‍රංසය වැනි දේ කියා නාගත්තාට රතන හිමි දේශපාලනයේදී සිල්ලර ගේම් ගහන්නේ නැත. රතන හිමි ඉන්නේ ජනාධිපති සමග නිසා ඔහුට ඕනෑ නම් මේ මුස්ලිම් නායකයන් තිදෙනා ම ජනාධිපති ලවා තනතුරුවලින් පහ කරන්නට බැරිකමක් නැත. එහෙත්, රතන හිමි එය කරන්නට යන්නේ ලොකු සංදර්ශනයක් පෙන්නා තමනුත් ගොඩ යන ගමන්, ලොකු ගොඩකුත් හදාගෙන, නැවුම් ජවයක් හා බලයක් වෙනුවෙන් මෝල්ටඩ් මිල්ක් එකක් ගහමිනි.

මේ වටය සමහරවිට අවසන් වන්නේ මෛත්‍රී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ස්ථිර වීමෙන් විය හැකි ය. මෛත්‍රී – මහින්ද – සජිත් සන්ධානයක් තුළ නැවත වරක් මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති වන්නට පවා ඉඩ ඇති බව රතන සූත්‍රයේ අටුවාව ලෙස ගෙනහැර පාමි.