ICCPR

මාධ්‍යකරුවන්ට එරෙහිව පොලිසියේ ICCPR ක්‍රියාමාර්ගයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය

කිසිවෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන පිළිගත් මුද්‍රිත මාධ්‍යයක පළවන ප‍්‍රවීන මාධ්‍යවේදියෙකුගේ ලිපියක් සම්බන්ධයෙන් ඇප පවා ලබා දිය නොහැකි වන සේ ප‍්‍රතිපාදන ඇතුළත් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කිරීම භයානක පූර්වාදර්ශයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වාදෙයි.

Sinhala Tamil English Translations and Content Writing

පොලිසියේ මෙම ක‍්‍රියාකාරීත්වය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම තත්වය වැළැක්වීමට මැදිහත් වන ලෙස අදාළ සියලූ පාර්ශව වෙත අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එරෙහි මෙවන් උත්සාහයන් පරාජය කිරීමට පෙරට එන්නැයි මානව හිමිකම්වලට ගරු කරන සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම නිවේදනය නිකුත් කිරීමට හේතු වූයේ ප‍්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ඩේලිමිරර් පුවත්පතට ලියූ ලිපියක් පදනම් කරගෙන අයි.සී.සී.පී.ආර්. පනත හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ප‍්‍රතිපාදන අනුව නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීමට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කටයුතු කිරීමයි. ඒ ඔහු විසින් සතිපතා ඩේලිමිරර් පුවත්පතට සපයන තීරු ලිපිය යටතේ මැයි 17 වන දින “From Islamic Terrorism to marauding Sinhala  Buddhist violence” හෙවත් “ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය” දක්වා යන ලිපිය පදනම් කරගෙන ය.

පරීක්ෂණයේ ඉදිරි පියවරක් ලෙස පසුගිය 14වනදා, සිකුරාදා පොලිසිය විසින් එම ලිපිය පළවූ ඩේලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ දරා තිබේ. තාක්ෂණික කරුණක් මත ඩේලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් එදින එම ප‍්‍රකාශය ලබාගැනීමට නොහැකි වුවද, පොලිසිය සඳහන් කර ඇත්තේ එම කරුණ නිවැරදි කරගෙන ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා යළි පැමිණෙන බවයි. එමෙන්ම එහිදී පොලිසිය කුසල් පෙරේරාගෙන්ද ප‍්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඔහුගේ ලිපිනය සහ දුරකථන අංකද ලබාගෙන තිබේ.