මහ මැතිවරණයක් සඳහා ජාතික ව්‍යාපාරයක්

‘ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය හොරු අරන්’ මැයෙන් මහජන මන්ත්‍ර‍ණ සභාවක් මහ මැතිවරණයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇති බව එහි කැඳවුම්කරු වන අනුප පැස්කුවෙල් පවසයි.

2019 ජනවාරි 18දා, සිකුරාදා ප.ව. 3.30ට කොළඹ මහජන පුස්තකාලීය ශ්‍ර‍වණාගාරයේදී පැවැත්වෙන මෙම සම්මන්ත්‍ර‍ණය අමතා පහත සඳහන් කථිකයෝ දේශන පවත්වති.

  • ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
  • වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ විධායක සභික වෛද්‍ය නිමල් කරුණාසිරි
  • පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ආචාර්ය චරිත හේරත්
  • කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව
  • යුතුකම සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග

මහ මැතිවරණයක් සඳහා ජාතික ව්‍යාපාරය සිංහල ජාතිකවාදී මතවාදයේ සිටින, මහින්ද රාජපක්ෂ මහතාට සමීපව කටයුතු කරන ගෙවිඳු කුමාරතුංග ප්‍ර‍මුඛ පිරිස් විසින් ගොඩනගන ලද සංවිධානයක් බව අපගේ නිරීක්ෂණයයි. කම්කරු අරගල මධ්‍යස්ථානය යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන සංවිධාන නමකි. එය නියෝජනය කරන දුමින්ද නාගමුව මෙම සම්මන්ත්‍ර‍ණයට සහභාගි වීම සුවිශේෂ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙතෙක් කල් විවෘතව රාජපක්ෂවාදීන්ගේ වැඩසටහන්වලට සහභාගි වී නැත. මේ ඔවුන් එවැන්නකට සහභාගි වන පළමු අවස්ථාවයි.

පසුගිය ඔක්තෝබර් 26 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ විසින් දියත් කරන ලද කුමන්ත්‍ර‍ණයෙන් පසු මහ මැතිවරණයක් කැඳවන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යවස්ථා විරෝධී බව ප්‍ර‍කාශයට පත් කරන ලදී. ඒ අනුව, මහ මැතිවරණයක් පැවැත්විය හැක්කේ ආණ්ඩුව බලයට පත් වී වසර හතරහමාරකට පසු ය. ඉන් පෙර මහ මැතිවරණයක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් යෝජනාවක් සම්මත කළ යුතු ය.

මෙය ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී තත්වයක් බව මහ මැතිවරණයක් සඳහා ජාතික ව්‍යාපාරයේ මතයයි.

කෙසේ වෙතත්, මේ වන විට පළාත් සභා මැතිවරණ ද දින නියමයක් නැතිව කල් දමා තිබේ. ඒවා නිසි කලට පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ සීමා නිර්ණය පමා වීම නිසා ය. පැරණි ක්‍ර‍මයට පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පනත් සංශෝධනයක් අවශ්‍යව තිබේ.