Malgudi Station at Arasalu

මල්ගුඩි දුම්රියපොළ බලන්න යමු

මල්ගුඩි දවසැ කියන්නෙ අපේ රටේ එක් පරපුරක් ආදරය කළ, සිංහලට හඬ කවන ලද ඉන්දියානු ටෙලි නාටක මාලාවක්. 1990 දශකයේදී එය නිර්මාණය වුණේ ඉන්දියාවේ සිටි ජනප්‍රිය සාහිත්‍යකරුවකු වූ ආර්.කේ. නාරායන්ගේ කතා මාලාවක් පදනම් කරගෙනයි. එය අධ්‍යක්ෂණය කළේ ශංකර් නාග්.

මල්ගුඩි දවසැ දර්ශනයක්

ආර්.කේ. නාරායන්ගෙ සම්පූර්ණ නම රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි අයියර් නාරායනස්වාමි. ඔහුගෙ කතාවල ප්‍රධාන චරිතයත් ස්වාමි. 1906දී උපන් ඔහු 2001දී මිය ගියේ ඉංග්‍රීසි බසින් ලියූ ජනප්‍රිය සාහිත්‍ය කෘති රැසක් ලොවට ඉතිරි කරලායි.

ඔහුගේ කතා බොහොමයක් පදනම් වුණේ මල්ගුඩි නම් මන:කල්පිත නගරයක ජන ජීවිතය මතයි. එහෙම නගරයක් ඇත්තට ම ඉන්දියාවේ නැහැ. හැබැයි, දැන් ඔන්න ඉන්දීය දුම්රිය සේවය මල්ගුඩි නමින් දුම්රියපොළක් නම් කරන්නයි යන්නේ.

මේ දුම්රියපොළ තිබෙන්නේ කර්ණාටක රාජ්‍යයේ ශිවමොග්ගා සිට තලගුප්පා දක්වා දිවෙන දුම්රිය මාර්ගයේයි. එම දුම්රිය ස්ථානයේ සැබෑ නම තමයි අරසාලු. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දර්ශන රූපගත කරන්නට ශංකර් නාග් යොදාගත් තැනක් තමයි මේ අරසාලු දුම්රිය ස්ථානය. මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ වර්තමාන අරසාලු දුම්රිය ස්ථානයයි.

මේ ආශ්‍රිතව මල්ගුඩි කටුගෙයක් ඉදිකරන්නටත් යෝජනා වී තිබෙනවා.

2011දී ඉන්දීය දුම්රිය සේවය යස්වාන්ත්පූර් සිට මයිසූරු බලා ධාවනය වන ශිඝ්‍රගාමී දුම්රිය මල්ගුඩි එක්ස්ප්‍රස් ලෙස නම් කළා.

මල්ගුඩියට පෙම් බැඳි ඔබට ආර්.කේ. නාරායන් පරිකල්පනය කළ ඒ අපූරු නගරයේ අනුරුවක් බලන්නට යන්නට ළඟදී අවස්ථාව ලැබේවි.

චෙන්නෙයි වෙත සංක්‍රමණය වන්නට පෙර මයිසූර් යාදව්ගිරිහි ආර්.කේ. නාරායන් ජීවත් වූ නිවස දැන් කටුගෙයකි. ඡායාරූපය railbandhu.in
දැකල පුරුදු චිත්‍රයක ප්‍රතිනිර්මාණයක්
railbandhu.in