Mattala Runaway

මත්තල ගුවන් තොටුපළ ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ නොහැකි ද?

වාමාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකුගෙන් යෝජනාවක්

මත්තල ගුවන් තොටුපළ තව දුරටත් සක්‍රිය ගුවන් තොටුපළක් ලෙස පවත්වාගෙන යා නොහැකි බව ඔප්පු වී හමාර බව වාමාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන , ඔස්ට්‍රේලියාවේ ජීවත් වන කනිෂ්ක ජයලත් පවසයි.

2013දී මත්තල ගුවන් තොටුපළ විවෘත කළ දින සිට සිදු වී තිබෙන පාඩුව රු. බිලියන 20කට අධික බව පසුගිය ජුලි මාසයේදී එවකට සිවිල් ගුවන් සේවා භාර ඇමතිව සිටි නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසී ය. මෙම ගුවන් තොටුපළ වානිජ ගුවන් තොටුපළක් බවට පත් කිරීම සඳහා ඉන්දියාව සමග 40 වසරක ඒකාබද්ධ ව්‍යාපාරයකට එළඹෙනු ඇති බව ද ඇමතිවරයා පැවසී ය. එ් පිළිබඳ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ වාර්තා නැත.

වර්තමාන රජය බලයට පත් වූ අලුත, කෙටි කාලයකට, මත්තල ගුවන් තොටුපළේ ගොඩනැගිලි වී ගබඩා කිරීමට යොදාගන්නා ලදී.

මේ වන විට මෙම ගුවන්තොටුපළ හා සම්බන්ධව කාලසටහනකට අනුව කිසිදු ගුවන් යානයක් ගමන් ගන්නේ නැත. එයට ගුවන් සේවයක් පවත්වාගෙන ගිය එක ම සමාගම වූ ෆ්ලයි ඩුබායි ද සිය සේවාව පාඩු නිසා නවත්වා දමන ලදී.

වනාන්තර ප්‍රදේශයක හා පිහිටි මෙම ගුවන් තොටුපළ අසල පරිසරයෙහි ජීවත් වන කුරුල්ලන් ගුවන් යානාවල හැපීම නිසා ද ගුවන් යානාවලට හානි සිදු වේ.

කනිෂ්ක ජයලත් සමාජ ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි තබන ලද සටහනට උත්තර බඳින බැසිල් රාජපක්ෂගේ දේශපාලනය හා සමීප දේශපාලන ප්‍රචාරකයකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ද වන මහින්ද පතිරණ මෙසේ පවසයි: ” මත්තල ගුවන්තොටුපල හුදකලා ආයෝජනයක් නෙමෙයි. එය හම්බන්තොට වරාය, හම්බන්තොට නව නගර සැලසුම, දක්ෂිණ අධිවේගී මාර්ගය, දුම්රිය මාර්ගය ඇතුළු පද්ධතියක එක කොටසකි විතරයි. කිසිම ආයෝජනයකින් එය ආරම්භ වූ විගස ලාභ ලද නොහැකි බව පෙට්ටි කඩයක් හෝ කළ කෙනෙකු දන්නා නමුත් කටින් බතල හිටුවන වාමාංශිකයින් දන්නෙ නැත.”

කෙසේ වෙතත්, විදෙස් රටවලින් පොළියට ගත් මුදලින් මෙවැනි දැවැන්ත ආයෝජන කරන්නට පෙර ඒවායේ ලාභ ලැබීමේ හැකියාව අධ්‍යයනය කළ යුතු ය. එසේ නොකර මෙවැනි ආයෝජන සිදු කළ කල සිදු විය හැකි පරිද්දෙන් ම දැන් ශ්‍රී ලංකාවට ණය ගෙවාගත නොහැකිව එම දේපල ණය ගත් රටවලට ම විකුණා දැමීමට සිදු වී තිබේ. මෙම ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා චීනයෙන් ඉහළ පොළියට ලබාගත් ඩොලර් මිලියන 210ක් වැය කරන ලදී.

මෙම ගුවන් තොටුපළ සමග සම්බන්ධ වන දුම්රිය මාර්ගයක් දැනට ඉදි කරමින් තිබේ. මාතර සිට බෙලිඅත්ත දක්වා වන එහි පළමු අදියර දැන් අවසන් කර තිබේ. මේ වන විට හම්බන්තොට වරාය චීන රජයට දීර්ඝකාලීනව බදු දී තිබේ. එහි සිදු වන ව්‍යාපාර සංවර්ධනයන් විසින් අනාගතයේදී මත්තල ගුවන් තොටුපළේ වටිනාකම් වැඩි කිරීමට ඉවහල් වනු ඇත. එහෙත්, ඒ දක්වා මෙම ගුවන් තොටුපළ දිනපතා පාඩු ලබමින් පවත්වාගෙන යා යුතු ද?

කනිෂ්ක ජයලත් ප්‍රකාශ කරන මෙම අදහස අවධානයට ලක් විය යුතු යයි අපි සිතමු:

“මා Lufthansa ගුවන් සමාගමේ සේවය කළ වසර දහය තුල ගුවන් සමාගමේ පුහුණු කිරීම් සියල්ල පැවතියෙ Seeheim නැමති ගම්මානයක ය. එය Frankfurt ගුවන්තොටුපොළේ සිට කි.මි 50ක දුරින් පිහිටි ගම්මානයකි. මේ කුඩා ගම්මානයේ කඳු මුදුනක මේ අපුරු පුහුණු මධ්‍යස්ථානය පිහිටා තිබේ.

IATA හෙවත් අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන ආයතනයේ පුහුණු මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන ඇත්තෙ අතළොස්සක් බව ද බොහෝ විට එහි අධ්‍යාපනය ලැබීමට සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, කැනඩාව වැනි රටවලට යා යුතු බව ද කනිෂ්ක ජයලත් පෙන්වා දෙයි .

ආසියාව ඉල්ලක්ක කර ගත් ගුවන් භාණ්ඩ, මගී ප්‍රවාහනය, තාක්ෂණය , අලෙවිකරණය, ආරක්ෂාව වැනි විෂයන් උගන්වන ආයතනයක් බවට මෙය පරිවර්තනය කර ගත හැකි බව කනිෂ්ක ජයලත් පවසයි.

“මේ ගුවන්තොටුපොලෙ සන්නිවේදන කුළුණෙන් යම් අදායමක් ලබා ගත හැක. එය හරිත ගුවන්තොටුපොලක් ලෙස සංචාරක ව්‍යාපාරයට මෙය යොදා ගැනීම පරිසරයට හානියක් වනු ඇත.”

ගුවන් පාසල් හා ගුවන් අවකාශ ඉංජිනේරු විද්‍යා පාසල් සඳහා ආයෝජන අවස්ථා තිබෙන බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙබ් අඩවියේ ද දැක්වේ.

මෙවැනි ගුවන් පුහුණු ආයතන ගණනාවක් දැනටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ය. ඒ සඳහා යොදාගැනෙන්නේ ගුවන් ගමන් සඳහා යොදාගැනෙන කාර්ය බහුල ගුවන් තොටුපළවල් ය.

(කවරයේ ඡායාරූපය: ලොව පාළුම ගුවන් ධාවන පථය Source:Flickr)