බහු සංස්කෘතික රටවල ජාතික ගී නිර්මාණය වූ හැටි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා තුනක් භාවිතා වෙනවා. ඒ අතරින් සිංහල හා දෙමළ කියන්නෙ මේ රටේ ජීවත් වන ජනවර්ගයන් තුනක මව්බස. රටේ ජනගහනයෙන් බහුතරය සිංහලයන් නිසා ජාතික ගීය සඳහා සිංහල ගීතයක් තෝරාගැනුණා. පසුව එය දෙමළ භාෂාවටත් නැඟුණමුත් ඒ පිළිබඳ යම් මතභේද රටේ පවතිනවා. ලංකාව වැනි වෙනත් බහු සංස්කෘතික රටවල් සිය ජාතික ගීය සකසාගෙන ඇති ආකාරය විමසා බැලීම මෙහිදී වටිනවා.

මේ ලිපියත් කියවන්න අපේ ජාතික ගීය දෙමළ බසට හැරුණ කතාව >>>

ඉන්දියාව

ඉන්දියාව භාෂා සිය ගණනක් කතා කරන ජනයා ජීවත් වන රටකි. එහි නිල භාෂා සංඛ්‍යාව පමණක් 22කි. 

‘ජන ගන මන’ නම් ගීය ඉන්දියාවේ ජාතික ගීයයි. සාධු භාෂා ලෙස හැඳින්වුණු විශාල වශයෙන් සංස්කෘතකරණය කරන ලද තත්සම බෙංගාලි බසින් ලියන ලද එය නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබූ රබීන්ද්‍රනාත් ‍තාගෝර් ශූරීන් විසින් නිර්මානය කරන ලද බ්‍රහ්ම බැති ගීයක මුල් පද පහයි. ගීය සම්පූර්ණයෙන් ම රචනා කර තිබෙන්නේ ක්‍රියාපද ලෙස ද භාවිතා කළ හැකි නාමපදවලිනි. මෙම නාම පද වැඩි හරියක් ඉන්දියාවේ ප්‍රධාන භාෂා හැම එකකම පාහේ භාවිතා වන හෙයින් එය පහසුවෙන් තේරුම් ගත හැකි ය. 1911 දෙසැම්බර් 27දා පවත්වන ලද ඉන්දීය ජාතික කොංග්‍රසයේ කල්කටා සැසියේදී එය පළමු වරට ගායනා කරන ලදී. 1950 ජනවාරි 24දා ඉන්දීය ව්‍යවස්ථාදායක සභාව විසින් එය නිල වශයෙන් ජාතික ගීය ලෙස උපුටා ගන්නා ලදී. 2011 දෙසැම්බර් 27 දිනට ජන ගන මන ගීයට සියවසක් සපිරිණි.

මෙම අර්ධ සංස්කෘත පදමාලාව ගායනයේදී ඉන්දියාවේ විවිධ භාෂාවන් අනුව උච්චාරණය වෙනස් වේ. එයට හේතුව වන්නේ බොහෝ ඉන්දු භාෂාවල ව්‍යංජන සමග සහජයෙන් ම යන ස්වරයක් තිබේ ය යන පිළිගැනීමයි. එහෙත් ඒ ස්වරය භාෂාවෙන් භාෂාවට වෙනස් වේ.

කැනඩාව

කැනඩාවේ ජාතික ගීය වන ‘ඕ කැනඩා’ මුලින් ම පිළි ගත්තේ ලුතිනන් ගවනර් ක්විබෙක් තියඩෝර් රොබිටේල් විසින් 1880 ශාන්ත ජෝන් බැප්ටිස්ට් දිනයෙහිදී ය. කැලික්සා ලැවලී සංගීතය සංයෝජනය කරන ලද අතර පද මාලාව ප්‍රංශ කැනේඩියානු කවියකු හා විනිසුරුවරයකු වූ ශ්‍රීමත් ඇඩොල්ෆ් බැසිල් රවුදියර් විසින් රචනා කරන ලද දේශාභිමානී කවියකි. මුල් පද මාලාව ප්‍රංශ භාෂාවෙන් වූ අතර 1906දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදී.

රොබට් ස්ටැන්ලි වෙයර් විසින් 1908දී තවත් ඉංග්‍රීසි පිටපතක් රචනා කරන ලදී. නිල හා වඩාත් ම ජනප්‍රිය ස්වරූපය බවට පත් වුණේ එයයි. එය මුල් ප්‍රංශ ගීයේ සාහිත්‍ය පරිවර්තනයක් නො වේ. කැනඩාවේ ප්‍රධාන භාෂා වන ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාවලින් නිර්මානය කරන ලද ජාතික ගී 1980 සිට ම භාවිතාවේ තිබේ. ඉංග්‍රීසි හා ප්‍රංශ ද්විභාෂා ස්වරූපයක් ද සුලබව භාවිතා කෙරේ.

දකුණු අප්‍රිකාව

මෙතෝදිස්ත පාසල් ගුරුවරයකු වූ එනොක් සොන්ටොන්ගා විසින් 1897දී දකුණු අප්‍රිකානු ජාතික ගීය වූ Nkosi Sikelel’ iAfrika නිර්මානය කළේ ය. මුලදී දේවස්ථාන ගීතිකාවක් වූ එය පසු කාලීනව වර්ණභේදවාදී ආණ්ඩුවට එරෙහි දේශපාලන විරෝධාකල්ප ගීයක් විය.

1936 සිට 1957 දක්වා සමයේදී එක්සත් රාජධානියේ ජාතික ගීය වන God Save the King/Queen ගීතයත්, සී.ජේ. ලැන්ගන්හොවන් විසින් 1918දී ලියන ලද, ගරු මාටිනස් ලවුරෙන්සි ඩි විලියර්ස් විසින් 1921දී සංගීතවත් කරන ලද Die Stem van Suid-Afrika ගීතයත් යන දෙක ම ජාතික ගී ලෙස භාවිතා කරන ලදී. 1957 සිට 1995 දක්වා Die Stem van Suid-Afrika ගීය එකම ජාතික ගීය ලෙස සලකන ලදී.

1994සිට ගීත දෙක ම දකුණු අප්‍රිකාවේ ජාතික ගී ලෙස සැලකේ. නෙල්සන් මැන්ඩෙලාගේ ආණ්ඩුවේ සමාරම්භක අවස්ථාවේදී මේ ගී දෙක ම ගායනා කරන ලදී. ඒ දෙක එකතු කර 1997 සිට අලුත් ජාතික ගීයක් නිර්මානය කරන ලදී. වත්මන් ජාතික ගීය වන එහි ඉංග්‍රීසි පද මාලාව සකසා ගනු ලැබුවේ The Call of South Africa නම් වන මුල් ගීයේ ඉංග්‍රීසි පදමාලාවේ මුල් කොට‍සේ අවසන් පද හතරෙනි. පශ්චාත් වර්ණභේදවාදි දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු නිරූපණය වන පරිදි එය වෙනස් කර තිබේ.
1997 සිට දකුණු අප්‍රිකානු ජාතික ගීය අලුත් ඉංග්‍රීසි පද Nkosi Sikelel’ iAfrika (God Bless Africa) හා Die Stem van Suid-Afrika (The Call of South Africa) ඒකාබද්ධ කර සකසාගෙන තිබේ.

නවසීලන්තය

“God Defend New Zealand” හා “God Save the Queen” යන ගී දෙක ම නවසීලන්තයේ ජාතික ගී ලෙස සැලකේ. “God Defend New Zealand” ගීතය වඩා සුලබව භාවිතා වන මුත් ගී දෙකට ම සම තත්වයක් තිබේ. “God Defend New Zealand” ගියේ පද ඉංග්‍රීසි හා මයෝරි භාෂාවලින් තිබේ. එහි ගී ඛන්ඩ පහක් ඇත. ඒ හැමෙකක් ම ඉංග්‍රීසි හා මයෝරි භාෂාවලින් තිබේ. මයෝරි පද ඉංග්‍රීසි පදවල ඍජු පරිවර්තනයක් නො වේ. 1878දී නිර්මානය කරන ලද මයෝරි පදමාලාව 1979දී නැවත ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ හිටපු මයෝරි භාෂා කොමසාරිස් මහාචාර්ය තිමති එස්. කාරේටු විසිනි.

මුල් රචකයා වූ බ්‍රැකන් 1949 ජනවාරි 01දා මිය ගොස් පනස් වසරකට පසුව “God Defend New Zealand” ගීයේ බුද්ධිමය දේපල අයිතිය අහෝසි විය. රජය විසින් එහි බුද්ධිමය දේපල හිමිකම මිළ දී‍ ගෙන තිබිණි. කාරේටු විසින් කරන ලද පසු පරිවර්තනය වෙනුවෙන් නවසීලන්ත රජයට 2079 වසර දක්වා බුද්ධිමය දේපල අයිතිය තිබේ.
1990 දශකය දක්වා ම වැඩිපුර ගායනා කරනු ලැබුවේ ඉංග්‍රීසි පදමාලාවේ මුල් ගී ඛන්ඩය පමණි. 1999දී එංගලන්තයට එරෙහි රග්බි ලෝක කුසලාන තරගයේදී මයෝරි පදමාලාව මුල් වරට ගායනා කරන ලද අතර, මහජන සංවාදයකින් පසු ඉංග්‍රීසි හා මයෝරි බසින් මුල් ඛන්ඩය එකකට පසුව අනෙක වශයෙන් ගායනා කරනු ලැබේ. ‍දෙවන හා පස්වන ඉංග්‍රීසි ගී ඛන්ඩ ද ගායනා කරනු ලැබේ. එහෙත්, තෙවන හා සිව්වන ගී ඛන්ඩ ගායනා කරනු ලබන්නේ කලාතුරකිනි.

ස්විට්සර්ලන්තය

The Swiss Psalm (ජර්මන්: Schweizerpsalm, ප්‍රංශ: Cantique suisse, ඉතාලි: Salmo svizzero, රෝමන්: Psalm svizzer) යනු ස්විට්සර්ලන්තයේ ජාතික ගීයයි. 1841දී ඇල්බෙරිච් ස්විසිග් (1808 – 1854) විසින් රචනා කරන ලද එය එතැන් සිට දේශාභිමානී උත්සවවලදී සුලබව ගායනා කරන ලදී. එහෙත් ෆෙඩරල් කවුන්සිලය එය ජාතික ගීය ලෙස පිළිගැනීම කීපවිටක් ම ප්‍රතික්ෂේප කළේ ය. එයට හේතුව වූයේ ජනතාව ජාතික ගීය ගැන දක්වන අදහස දැන ගැනීමට කවුන්සිලයට අවශ්‍ය වීමයි.

1961 සිට 1981 දක්වා ජොහාන් රුඩොල්ෆ් වයිස් (1743 – 1818) විසින් නිර්මානය කරන ලද Rufst Du, mein Vaterland (“When You Call, My Country”, ප්‍රංශ: Ô monts indépendants; ඉතාලි: Ci chiami o patria, රෝමන්: E clomas, tger paeis) ගීය ඇතැම් ප්‍රදේශවල ජාතික ගීය ලෙස පිළි ගැනිණි. එහි තනුව සුප්‍රකට God Save the Queen අනුව සකසා තිබේ. 1981 අප්‍රේල් 01දා සිට Swiss Psalm දකුණු අප්‍රිකාවේ ජාතික ගීය ලෙස පිළිගන්නා ලදී. මුල් ජර්මානු ගීය ස්විට්සර්ලන්තයේ සෙසු ජාතික භාෂා තුනට ද පරිවර්තනය කරන ලදී. පොදු උත්සව අවස්ථාවලදී තමන්ගේ අභිමතය පරිදි ජාතික ගීය ගැයීමට ෆෙඩරල් රජය ජනතාවට අවසර දී තිබේ.

(වන් ටෙක්ස්ට් ඉනිෂියේටිව් ආයතනයේ අධ්‍යයනයක් ඇසුරිනි.)

Call 077 1734470 for Sinhala Tamil English Translations