බයිසිකල් පදින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් #CarFreeCMB පාවිච්චි කරමු

කොළඹ පුරපති රෝසි සේනානායක සහ නෙදර්ලන්ත තානාපතිනි කාර්යාලය එක්ව, ජුලි 14දා, ඉරිදා, වරුවක කාලයක් සඳහා කොළඹ නගරය කාර්වලින් තොර නගරයක් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එයට අප විරුද්ධ නැත.

එහෙත්, මෙවැනි සෝබන ක්‍රියාමාලාවලට යටින් තිබෙන යථාර්ථය එළිදක්වමින් මෙවැනි මිළ අධික ප්‍රචාරණ වැඩසටහන් ලංකාවේ ඇත්ත ප්‍රශ්නවලට යථාර්ථවාදී විසඳුම් සඳහා පාලකයන්ට බලකිරීම සඳහා උපයෝගී කරගත යුතු ය.

මෙම සටහන ලියන මා ව්‍යායාම පිණිස ගම්බද ප්‍රදේශයක බයිසිකල් පදින්නෙකි. අද වන විට ගම්බද හෝ බයිසිකලයක් පදින්නට බැරි තරමට මාර්ග ආරක්ෂාව අනතුරේ ය. වැඩිම අවදානම නිර්මාණය කරන්නේ මාර්ග නීති නොතකන බස් රියදුරන්, හදිසිකාර ට්‍රක් රියදුරන් හා එහෙන් මෙහෙන් රිංගා යන ත්‍රිරෝද රියදුරෝ ය.

2018 වසරේ පමණක් පාපැදිකරුවන් 251ක් රිය අනතුරුවලින් මියගිය හ. තව විශාල පිරිසක් තුවාල ලැබූ හ.

වසර කීපයකට පෙර තිසුලා අබේසේකර මිය ගියේ කොල්ලුපිටියේ පාරේ බයිසිකලයක් පදිමින් සිටියදී ට්‍රක් රියදුරකු විසින් යට කරදැමීමෙනි. ගායිකාවක හා සමාජ ක්‍රියාකාරිනියක වූ ඇය නැසීගිය ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනී සුනිලා අබේසේකරගේ සොයුරියයි.

මෙම ප්‍රචාරණ ක්‍රියාමාලාව ධනාත්මක අරමුණක් වෙනුවෙන් භාවිතා කිරීම සඳහා බයිසිකල් පදින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමට කොළඹ මහනගර සභාවට හා රජයට බල කරමු.

ඉංග්‍රීසි බසින් ලියැවුණ පහත සබැඳියේ තිබෙන ලිපිය හා මෙම ඡායාරූප ෂෙයා කරන්න. පහත දැක්වෙන හෑෂ්ටැග් එක භාවිතා කරන්න. @CarFreeCMB