Agunakolapelessa prison attack

බන්ධනාගාරවල සාමාන්‍ය වධ හිංසන අඟුණකොළපැලැස්සේ වීඩියෝවට වඩා දරුණු ය

බන්ධනාගාර කියන්නේ වධ හිංසා පැමිණවීම පැත්තෙන් ලෝකෙ දරුණුම ස්ථාන අතරින් එකක්. හිරකාරයන්ව පාලනය කරන්නට, පැනලා යන එක වළක්වන්නට, නිලධාරීන්ට ගහන එක වළක්වන්නට, සිරකරුවන් එකිනෙකා මරාගැනීම වළක්වන්නට හා සිරකරුවන් අතර සාමය පවත්වාගන්නට සිරකරුවන්ට ඉතා නින්දිත විධියට වධ දෙන එක ලෝකෙ පුරාම හිරගෙවල්වල තියෙනවා.

සාමාන්‍යයෙන් පැනලා යන්නට උත්සාහ කර හෝ පැනලා ගොස් හෝ අසුවන අයගේ කකුල් කඩාදැමීමේ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තිබෙනවා. ඒවා බාහිර ලෝකයට දැනගන්නට ලැබෙන්නේ නැහැ.

ලෙග් බේල් ලෙස හැඳින්වෙන වධ බන්ධනය බන්ධනාගාරවල සුලබ වධක ක්‍රමයක්. එහිදී කරන්නේ සිරකරුවා බංකුවක් මත මුණින් අතට බාවා කිහිප දෙනෙකු ඔහුගේ ඇඟ මත නැග තද කරගෙන සිටියදී දිග බැටන් පොලුවලින් යටි පතුල්වලට තදින් පහර දීමයි. අධික වේදනාකාරී මෙම පහර දීමෙන් පසුව සිරකරුවන්ට සති ගණනාවක් දෙපයින් නැගී සිටින්නට බැරි වෙනවා.

බන්ධනාගාරගත වන සිරකරුවන් හැම දෙනාමත් අහිංසකයන් නෙමෙයි. ඒ අතර භයානක හා නින්දිත පුද්ගලයන් බොහොමයි. ඔවුන් බන්ධනාගාරය තුළදීත් සෑම ආකාරයක ම අවකල්ක්‍රියාවල යෙදෙනවා.

ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් ඉන්නේ අධික පීඩනයක. ඔවුන්ට තිබෙන්නේ බැටන් පොල්ලක් වැනි අති සරල ආයුධයක් විතරයි. ඒ නිසා ඔවුන් ද හැම විට ම සිරකරුවන්ගෙන් ආරක්ෂා වීමට උත්සාහ කරනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ රැකියාව කොයි තරම් අවදානම් සහගත එකක් ද යන්න කළුතර ජාවත්ත බන්ධනාගාරයේ සිට සිරකරුවන් පිරිසක් අධිකරණය වෙත රැගෙන යද්දී සිදු වූ ප්‍රහාරයෙන් වැටහෙනවා. 2017 පෙබරවාරි 27දා සිදු වූ මෙම ප්‍රහාරයෙන් අරුණ උදය ශාන්ත හෙවත් රණාලේ සමයං නම් පුද්ගලයා ඇතුළු සිරකරුවන් පස්දෙනෙකුත්, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මරා දැමුණා.

පසුගිය නොවැම්බර් 22දා ලබාගත් බව පැවසෙන මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරනු ලබන කාරණයක් වන්නේ අඟුනකොළපැලැස්සේ ඉදි කළ අන්තර්ජාතික ප්‍රමිතියේ යයි කියන බන්ධනාගාරය ද එහෙමට ප්‍රමිතියක් නැති තැනක් බවයි. අනෙක් පැත්තෙන්, මේ වනාහි එතරම් දරුණු වධ හිංසනයක් නොවන බව ද, බන්ධනාගාර වධ හිංසා මීට වඩා අතිශය දරුණු බව ද පැවසිය යුතු යි. එසේ කීමෙන් අප අදහස් කරන්නේ මෙකී නිලධාරීන් නිදොස් කිරීමට නොව, තත්වය මීටත් වඩා නරක බව පෙන්වා දීමටයි.

මෙවැනි වධ හිංසා පාසල්වල ගුරුවරුන් හා ශිෂ්‍ය නායක, කැඩෙට් ආදීන් විසින් ද, විශ්වවිද්‍යාලවල නවක වධය මෙහෙයවන්නන් විසින් ද කරනු ලබනවා. සැබෑ බන්ධනාගාර ප්‍රහාර මීට වඩා බිහිසුණුයි.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27දෙනෙකු ඝාතනයට ලක් වුණා. හැබැයි, එහිදී එම ක්‍රියාව සිදු කළේ බන්ධනාගාර නිලධාරීන් නොවෙයි. 1983 කළු ජූලිය සමයේ බන්ධනාගාර නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් දෙමළ සිරකරුවන් 53දෙනෙකු ඝාතනය කරනු ලැබුවා.

https://youtu.be/JFM6c-XBABM