Ms. Ritsu Nacken handing over the first copy of 'Perspectives' to Prof. Maithree Wickramasinghe

පනස් වසරක් සපුරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හෙවත් UNFPA යනු ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයයි. එය සිය කටයුතු ගෝලීයව ආරම්භ කර වසර 50ක් සපුරයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කටයුතු ආරම්භ වී තිබෙන්නේ 1973 වසරේදී ය.

ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධ තවත් වැදගත් සන්ධිස්ථානයක් මෙම වසරේ යෙදේ. ඒ ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට වසර 25ක් සපිරීමයි. 1994දී කයිරෝහි පැවැත්වුණු ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ප්‍ර‍ජනන සෞඛ්‍යය සහ කාන්තා බලසතු වීම එකිනෙක බැඳුණු, සංවර්ධනයේදී අත්‍යවශ්‍ය කාරණා බව පිළිගන්නා ලදී.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙහෙවර ප්‍ර‍කාශය වන්නේ සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍ය එකක් බවට පත් කිරීම, සෑම දරු උපතක් ම ආරක්ෂිත කිරීම සහ සෑම තරුණ පුද්ගලයකුගේ ම හැකියාවන් පූර්ණත්වයට පත් කිරීමයි.

මෙම සන්ධිස්ථාන අනුස්මරණය කරමින්, ලෝක ජනගහන දිනය නිමිති කරගෙන, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ‘Perspectives’ නම් ප්‍ර‍කාශනය නිකුත් කරන ලදී. එහි තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හා හිමිකම් සම්බන්ධ දශක පහක සැමරුම් ය. පුද්ගලයකුගේ ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් සහ තෝරාගැනීම් රටේ ජනගහන සහ සංවර්ධන න්‍යාය පත්‍රයෙහි හදවත බවට පත් වන ආකාරය එහි පෙන්වා දී තිබේ.

මෙම ප්‍ර‍කාශනය දියත් කරමින් පවත්වන ලද උත්සව සභාව අමතා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකෙන් මහත්මිය මෙසේ පැවසුවා ය. ලෝකයේ දැවැන්ත සංවර්ධනයක් සිදු වී තිබියදීත්, කාන්තා හිමිකම් සහ විශේෂයෙන් ම ප්‍ර‍ජනන හිමිකම් අවදානමට ලක් වී තිබේ. බොහෝ රටවල එය දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ උපක්‍ර‍මවල පීඩනයට ලක් වේ. කාන්තාවන් එහි ප්‍ර‍තිඵලවලින් පීඩා විඳිති. මෙය ගෝලීය පරිමාණ අවදානමකි. ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ න්‍යාය පත්‍රයේදී දෙන ලද පොරොන්දු ඉටුකිරීමට අප දැන් ක්‍රියාත්මක විය යුතු ය.

මෙම උත්සවයේදී ප්‍ර‍ධාන අමුත්තා වන මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ මහත්මිය පහත දැක්වෙන කරුණු අවධාරණය කළා ය: එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කාන්තාවන්ට ස්වාධීනත්වයේ බලය සහ තෝරාගැනීමේ බලය ලබා දෙයි. ගැබ්ගැනීමක් ම අවශ්‍ය එකක් බව, සෑම ගැබ්ගැනීමක් ම තෝරාගැනීම මත සිදු වන්නක් බව, එය අහඹු ලෙස නොවන්නක් බව සහ ස්ථිර වශයෙන් ම බලහත්කාරයෙන් සිදු නොවන බව තහවුරු කිරීම එහි අරුතයි.

හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු උප ලේකම් ජනරාල්වරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මෙසේ පැවසුවා ය: ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යයට විශ්වීය ප්‍රවේශය මූලික මානව හිමිකමකි. එය සෞඛ්‍යය සඳහා හිමිකමෙහි අභ්‍යන්තර කොටසක් වනවා පමණක් නොව, පුද්ගල නිදහස සඳහා හිමිකම වැනි තවත් බොහෝ මානව හිමිකම් භුක්ති විඳීම සඳහා පදනමින් ම සම්බන්ධ ය..

ශ්‍රී ලංකාවේ සෑම මවක ම පාහේ දරු උපත් සිදු කරන්නේ සෞඛ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක ය. ගර්භනී මව්වරුන්ගෙන් 99%ක් ම පූර්ව ප්‍ර‍සව සහ පශ්චාත් ප්‍ර‍සව සත්කාර ලබති. එහෙත්, තවමත්, සජීවී දරු උපත් සිදුකරන මව්වරුන් ලක්ෂයකට 40දෙනෙකු පමණ මිය යති. ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ න්‍යාය පත්‍ර‍යේ අසම්පූර්ණ කොටස් සම්පූර්ණ කිරීම, වැළැක්විය හැකි මාතෘ මරණ සම්පූර්ණයෙන් ම වැළැක්වීම, සම්පූර්ණ කර නොමැති පවුල් සැලසුම් අවශ්‍යතා සම්පූර්ණ කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය සම්පූර්ණයෙන් ම තුරන් කිරීම සහ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන් ම දුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇපකැප විය යුතු බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් මේ නිමිත්තෙන් නිකුත් කරන ලද නිවේදනයෙහි දැක්වේ.

‘Perspectives’ ප්‍ර‍කාශනයේ විද්‍යුත් පිටපත එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකි ය: https://srilanka.unfpa.org

Read this article in English here