කුලියාපිටියේ එච්.අයි.වී. සිද්ධිය හා දිළිඳුකම නැතිකිරීමේ වැරදි උපායමාර්ගවල ප්‍රතිඵල

විනීතා එම්. ගමගේ ලංකාදීප පුවත්පතට ලියූ පහත උපුටා දක්වා තිබෙන වාර්තාව දිළිඳුකම නැතිකිරීම සඳහා අනුගමනය කරනු ලබන උපායමාර්ගවල වරද ඇසට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන අවස්ථාවක්.

ප්‍රසිද්ධ උපමා කතාවකට අනුව ඔබ කළ යුත්තේ බඩගින්නේ ඉන්නා පුද්ගලයකුට මාළුවකු දීම නොව බිලීපිත්තක් දීමයි.

මෙම සිද්ධියේදී සිදු වුණේ අසාධාරණයට ලක් වුණ දරුවාට හා මවට සියලු වියදම් දරන්ට විවිධ පුද්ගලයන් හා සංවිධාන ආදිය විසින් භාරගැනීමයි.

එච්.අයි.වී. ආසාදිත පුද්ගලයකු යනු සමාජ වෛරයට මෙන් ම අනුකම්පාවට ද ලක් විය යුතු අයෙකු නොවෙයි. නිසි පරිදි ප්‍රතිකාර ගන්නා එච්.අයි.වී. ආසාදිතයකු කියන්නේ දියවැඩියා රෝගියකු වැනි රෝගයත් සමග ජීවත් වන කෙනෙක්. එම පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමේ හැකියාව තිබෙනවා.

මෙම සිද්ධියේදී මෙම කාන්තාව වෙනුවෙන් කළ හැකිව තිබුණේ ඇයට රැකියාවක් ලබාදීම මිස ඇය පුණ්‍යාධාරවල යැපුම්කාරියක බවට පත් කිරිීම නොවෙයි. දැන් වුණත් අවශ්‍ය එයයි.

ලංකාවේ දිළිඳුකම නැතිකිරීම සම්බන්ධයෙන් කාලයක පටන් ආණ්ඩු විසින් කරමින් තිබෙන්නේ විවිධ සහනාධාර සැපයීමයි. නිවාස, ඉඩම්, ආහාර, ඇඳුම් ආදිය දුන්නත් ඇතැම් පවුල් දිළිඳුභාවයෙන් ගොඩඑන්නේ ම නැත. හේතුව, ඔවුන් යැපුම් මානසිකත්වයේ ගොදුරු බවට පත්කිරීමයි.

මෙම තත්වය ම ගොවීන් හා රජයේ සේවකයන් සම්බන්ධයෙන් ද අදාළ ය.

කුලියාපිටිය දරුවාට යළි පාසල් ගමන අහිමි වෙයි


(විනීතා එම් ගමගේ)

මවට ඒඞ්ස් රෝගය වැළඳී ඇතැයි පාසලෙන් ප‍්‍රතික්ෂේප වූ විට මධ්‍යම පළාතේ පාසලකට ඇතුළත් කරගනු ලැබූ කුලියාපිටියේ දරුවාට යළි පාසල් ගමන අහිමිවී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

සිසුවාගේ මව මධ්‍යම  පළාතේ එම ජනප‍්‍රිය පාසල අසල නිවසක් කුලියට ගෙන සිසුවා සමඟ නවාතැන් ගෙන සිටි අතර ඒ සඳහා නිවාස කුලිය වන රුපියල් 15,000 ගෙවා තිබුණේ ප්‍රධාන පෙලේ සමාගමක් විසිනි.

එම සමාගම විසින් මේ වනවිට එම මුදල ගෙවීම නවතා දමා ඇති බැවින් එය අහිමි වීමෙන් යළි ඔවුන් කුලියාපිටියට ගොස් ඇති බවත් මේ නිසා සිසුවාගේ පාසල් ගමන නැවතී ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසීය.

ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් 9 වසරේ අධ්‍යාපනය ලැබු එම සිසුවා දක්ෂ සිසුවෙක් බවත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොදිය යුතු බවත් පෙන්වා දුන් ගුරු සංගම් ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්වී වහා යම් පියවරක් ගත යුතු යැයි ද කීය.

කුලියාපිටිය විදුහලක ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා 2016 වසරේ දී අර්බුදයකට ලක්ව පාසල් ගමන නවත්වනු ලැබූයේ ඔහුගේ මව එච් අයි වී ආසාදිත කාන්තාවක් බැවින් දරුවා පාසලට එවීමෙන් තම දරුවන් අවදානමක වැටෙන බවට මව්පියන් දැඩි විරෝධතා දැක්වීම හේතුවෙනි.

පසුව ඔහුට පාසලක් ඉල්ලා ඔහුගේ මව කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරියේ උපවාසයක් ද ආරම්භ කළ නමුත් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ එම සිසුවාට පාසලක් ලැබුණේ නැත. 

මෙසේ පාසලක් අහිමිවීම පිළිබඳව මාධ්‍යයෙන් අනාවරණය වූ අවස්ථාවේ මධ්‍යම පළාතේ ජනපි‍්‍රිය විදුහලක් මෙම සිසුවා භාරගත් අතර ඔහුට එදිනෙදා වියදම් සියල්ල විවිධ පුද්ගලයෝ බාරගත්හ. මේ වනවිට එසේ භාරගත් බොහෝ දෙනෙක් බාරගත් දේ අමතක කර ඇති බව ද ස්ටාලින් මහතා පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දැනුම් දී මෙම ප‍්‍රශ්නයට මැදිහත් වන්නැයි ඉල්ලා සිටි බව ද ලේකම්වරයා සඳහන් කළේය.