noose

අළුගෝසුවන් බඳවාගන්නට බැරුව මරණ දඬුවම නවතින ලකුණු

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලුතෙන් අළුගෝසුවන් දෙදෙනෙකු ද තෝරාගැනීමේ කටයුතු තිබෙන්නේ අවසන් අදියරේ බව වාර්තා වේ.

මෙම තෝරාගැනීමේ කටයුතු සිදුකරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි.

කෙසේ වෙතත්, අළුගෝසු ධුරයේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය ඇති අය තෝරාගැනීම ලෙහෙසි නොවන බව අපගේ අදහසයි. එයට හේතුව කීපයක් තිබේ. ලංකාව යනු නීතියේ ආධිපත්‍යය නිසි ලෙස පවතින රටක් නොවේ. පසුගිය සමයේ බොහෝ විනිශ්චයකාරවරුන් නිදහසේ මරණ දඬුවම දුන්නේ එය ක්‍රියාත්මක නොවූ නිසා ය. එසේම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පවා දේශපාලනික ය. මේ මොහොතේ ජනාධිපති සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ දේශපාලන වාසි ලබාගැනීමට ය. මෙම අළුගෝසුවන්ට සිදුවන්නේ එකී දේශපාලන උවමනාව වෙනුවෙන් පාවිච්චි වී සමාජයේ පිළිකුළට ලක්වන්නට බව මානසික ශක්තිය ඇති අයෙකුට නම් වැටහේ.

යම් මානසික ගැටලුවක් නැතිනම්, රු. 30,000ක පමණ වැටුපකට දේශපාලනික උවමනාවන් මත
කුලියට මිනීමැරීම සඳහා රජයේ සේවයට යමෙකු එක් වේ යයි සිතිය නොහැකි ය. එහෙත්, කිසියම් මුග්ධයන් දෙදෙනෙකු මේ වෙනුවෙන් රවටාගැනීමට හැකි වන්නට පුළුවන.

එවැනි කුලී මිනීමරුවන් දැනටත් සිටිනමුත් ඔවුන් හෝ නීත්‍යානුකූලව ප්‍රසිද්ධියේ මිනීමැරීම කරන්නට ඉදිරිපත් වන්නේ නැත.

මේ අතර, අලුතෙන් බඳවාගනු ලබන අළුගෝසුවන් දෙදෙනාගේ නම් හෙළිදරව් නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ. එහෙත්, රජයේ රහස් රැකගැනීමේ හැකියාව කොතරම් ද යත්,මේ වන විට එල්ලා මරා දැමීමට තෝරාගන්නා ලද කාන්තාවක ඇතුළු වැරදිකරුවන් දහදෙනාගේ නම් හා වයස පවා මාධ්‍ය විසින් හෙළිදරව් කර තිබේ. තෝරාගනු ලබන අළුගෝසුවන්ගේ නම් හෙළිදරව් වීමට ගත වනු ඇත්තේ සුළු කාලයකි. මෙම පුද්ගලයන් දෙදෙනාගේ සමස්ත අනාගතය ම අඳුරු විය හැකි ය.

අළුගෝසු තනතුර වෙනුවෙන් අයදුම්පත් කැඳවූ අවස්ථාවේ එයට ඇමරිකානුවන් දෙදෙනෙකු සහ කාන්තාවක ඇතුළු 100කට අධික පිරිසක් අයදුම් කළ හ. ඒ අතර උපාධිධාරියකු ද විය.

අවසන් වතාවට ලංකාවේ බන්ධනාගාරයේ සේවය කළ අළුගෝසුවා මීට වසර පහකට පෙර ඉල්ලා අස් වූ අතර ඉන් පසු තෝරාගන්නා ලද අළුගෝසුවකු සේවයට පැමිණියේ නැත.