ශ්‍රී ලංකාවේ සංගීතය, සිනමාව, සාහිත්‍යය වැනි අංශවල මුස්ලිම් කලාකරුවන් ඉදිරියෙන් සිටි යුගයක් තිබිණි. නිදසුනක් ලෙස සංගීතයේ මොහිදීන් බෙග්, ඒ.ජේ.කරීම්, හරුන් ලන්ත්‍රා, මොහොමඩ් ගවුස්, ඒ.ආර්.එම්. ඊබ්‍රාහිම්, එම්. එම්. ඒ. හක් වැනි නම් පතළයි. සිනමාවේ ෆරීනා ලායි ජනප්‍රිය නිළියක්. මොවුන් අතරින් වැඩිදෙනෙක් මැලේ මුස්ලිම් ජාතිකයන්. බෙග් බෙංගාලි මුස්ලිම් ජාතිකයෙක්. පහත දැක්වෙන්නේ ෆරීනා ලායිගේ නර්තනයක්. චිත්‍රපටය ශාන්ති.

දැන් කෝ ඒ මුස්ලිම් කලාකරුවන්? යම් පිරිසක් ඉන්නවා කොළඹ ඉහළ සමාජයේ. ඔවුන් සිංහල, දෙමළ පොදු ජන කලාවන් එක්ක තිබෙන්නේ දුරස්ථ සම්බන්ධයක්.

ශශී විජේන්ද්‍ර කියන්නෙ කලක චිත්‍රපට 50කට වඩා රඟපෑ සිංහල සිනමාවේ සිටි ජනප්‍රිය නළුවෙක්. එතරම් දක්ෂ නළුවෙකු නෙමෙයි. ඒ වුණාට ආදරය දිනාගත් කෙනෙක්. ඔහු තුළ සිදු වූ පරිවර්තනය මුස්ලිම් කලාකරුවන්ට සිදු වූ දේ තේරුම් ගන්නට ඉවහල් කරගන්නට පුළුවන්. වහාබිවාදයේ පැතිරීමත් සමග ලංකාවේ මුස්ලිම් සමාජය තුළ මෙවැනි ලෞකික ප්‍රාසාංගික කලාවන් හෙළා දකින තත්වයක් නිර්මාණය වූ බව පෙනෙනවා. මුස්ලිම් සමාජය ලංකාවේ පොදු සමාජයෙන් දුරස්ථ කරන්නට අරාබි ඇඳුම් වගේ ම මෙවැනි කාරණාත් හේතු වුණ බව පෙනෙනවා.

මේ පිළිබඳ සංවාදයක් ෆේස්බුක්හි බර්ටි රණවීරගේ විසින් ආරම්භ කර තිබුණා. ඒ වෙලාවේදී ශශී විජේන්ද්‍ර ගැන පසුකලෙක සොයා බලා කළ වාර්තාවක් සිහිපත් වුණා.

පහත දැක්වෙන්නේ කලකට ඉහත පළ වූ ප්‍රවෘත්තියකි. මුල් වාර්තාව පළ වූ තැන සොයාගැනීම දුෂ්කර ය.

ශෂී විජේන්ද්‍ර යනු මීට වසර 20කට පමණ පෙර රිදී තිරයේ ජනප්‍රිය නළුවෙකි. නමුත් හදිසියේම ඔහු අතුරුදහන් වුනේ කිසිවෙකුටත් වුණ දෙයක් සොයාගැනීමට නොහැකිවන ලෙසයි.

බොහෝ දෙනා ශෂී විජේන්ද්‍ර ලෙස හැඳුන්වූවද ඔහුගේ ඇත්ත නම් අවුෆ් ය. උපතින් මුස්ලිම් ජාතිකයෙකු බව බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. පසුව ඒ පිළිබඳව ඔහු පවසා තිබුනේ මෙලෙසින්

“මා මුස්ලිම් ජාතිකයෙක්. අපේ ආගමට අනුව රඟපාන එක එක්තරා විදිහක පාප කර්මයක්. මා ඒ වැරැද්ද නොදැනුවත්ව කාලයක් කළා. නමුත් එය අවබෝධ කරගත් විගසම මා රංගනයෙන් ඈත් වුණා.” යනුවෙනි.

1983 වසරේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය හරහා රඟපෑමට එක්වූ ශෂී ඉන් පසු විජේ සහ අජේ, උතුරු දකුණ, රජ දරුවෝ, ලව් ඉන් බැංකොක්, ඔබට පමණයි ආදරේ ආදී අතිශය ජනපි‍්‍රය සිනමාපට ගණනාවක රඟපා තිබේ.

ශශී විජේන්ද්‍ර වූ අවුෆ් ගේ සහෝදරයා වූයේ මුනව්වර් ය. අයියා වූ අවුෆ්, ශෂී විජේන්ද්‍ර ලෙසත් මල්ලී වූ මුනව්වර්, රංග විජේන්ද්‍ර ලෙසත් නම් තබාගන දෙදෙනාම සිනමාවට එක්වී තිබු අතර රංග විජේන්ද්‍ර ච්ත්‍රපට නිශ්පාදන සහ අධ්‍යක්ෂණවරයෙකු ලෙස ඉදිරියට පැමිණියේය.

දෙදෙනාම මුස්ලිම් සමාජයෙන් ඉවත්වීම නිසා පල්ලියේ නාමලේඛනයෙන් පවා ඉවත් කරන්නට නිවේදනය කර තිබූ බවත් පසුව මුස්ලිම් සමාජයෙන් එල්ලවූ බලපෑම නිසා නැවතත් ඒ දෙසට යොමුවූ බවද වාර්තාවේ.

මෙම සහෝදරයන් දෙදෙනා විවාහ වුයේද සිංහල ජාතික තරුණියන් දෙදෙනෙක් සමගය. එහෙත් මේ වනවිට ඔවුන්ගේ බිරියන් දෙදෙනාද භක්තිමත් මුස්ලිම් කාන්තාවන්ය. ඔවුන් දකින කිසිවෙකුට මේ එදා සිටි කාන්තාවන් දෙදෙනා යැයි හඳුනා ගැනීමටවත් බැරි බවද වාර්තාවේ

කෙසේ වුවද දරුවන් 5 දෙනෙකුගේ පියෙකු වන ඔහු මාතලේ දඹුල්ල පාරේ මහෝගනී ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි. වසර 17කට පසු ශෂී විජේන්ද්‍ර ප්‍රසිද්ධ මාධ්‍යයකට පැමිණි, මීට පෙර රඟපෑ දර්ශන නැරඹීමෙන් පසු තම තොරතුරු හෙළි කර තිබෙන්නේ මෙලෙසින්.

මොකද හිතෙන්නේ මේවා දකිනකොට ?
ඇත්තම කියනවනම් දකිනකොට ඒ කලේ කරපු දේ හරියට කෙරිලා තියෙනවා කියල හිතෙනවා. නමුත් අනිත් පැත්තෙන් හිතට දුකක් එනවා මම වරදක් කරානේ ද? නබි තුමා කියපු පාරේ ගියේ නෑ නේද කියලා දුක එනවා.

ඒ කියන්නේ?
ඒ කියන්නේ මම ඉස්ලාම් භක්තිකයෙක්..අපිට ජිවිතේ සැලැස්මක් දීල තියෙනවා…ඒ සැලස්මට පිටින් යන්න කොහෙත්ම ඉඩක් නැහැ..

රඟපෑමත් එකෙන් පිට දෙයක්ද ?

ඔව්.

එහෙනම් කලේ ඒක ?
මම පටන්ගත්ත වෙලාවේ මගේ ආසාව මේක දැනගැනීමට වඩා වැඩි උනා. ආගමේ මේ ගැන කියල තියෙන්නේ මොකද්ද කියල හොයනවට වඩා මේ ආසාව වැඩි උනා.

(පහත දැක්වෙන්නේ අවුරුදු 17කට පසු ශශී විජේන්ද්‍ර රූපවාහිනියක් සමග කළ සාකච්ඡාවක කොටසක්)

4 thoughts on “අවුෆ් හනීෆා ශශී විජේන්ද්‍ර වී නැවත අවුෆ් හනීෆා වීම සහ මුස්ලිම් කලාකරුවන්ගේ අතුරුදහන් වීම

  1. ශශී විජේන්ද්‍ර හැර අනෙක් කලාකරුවන් මුස්ලිම් නොවේ. ඔවුන් මැලේ ජාතිකයන් වේ. මුස්ලිම්වරුන් සහ මැලේවරුන් යනු එකම ජාතියක් නොවේ. ආගම ඉස්ලාම් වූවාට මැලේවරුන්ගෙන්ගෙන් සපුරා වෙනස්වේ.

    කරුණාකර මෙවැනි වැරදි තොරතුරු සමාජගත නොකරන්න. කරුණු හදාරා ලිපි සකස් කරන ලෙස ගෛෟරවයෙන් ඉල්ලමු.

    • උපදෙස් දීමට හදිසි නොවී ලිපිය මුලින් කියවන්නට පුරුදු වෙන්න. ලිපියේ මෙම කොටස වෙත ඔබේ අවධානය යොමු කරන්න. //ශ්‍රී ලංකාවේ සංගීතය, සිනමාව, සාහිත්‍යය වැනි අංශවල මුස්ලිම් කලාකරුවන් ඉදිරියෙන් සිටි යුගයක් තිබිණි. නිදසුනක් ලෙස සංගීතයේ මොහිදීන් බෙග්, ඒ.ජේ.කරීම්, හරුන් ලන්ත්‍රා, මොහොමඩ් ගවුස්, ඒ.ආර්.එම්. ඊබ්‍රාහිම්, එම්. එම්. ඒ. හක් වැනි නම් පතළයි. සිනමාවේ ෆරීනා ලායි ජනප්‍රිය නිළියක්. මොවුන් අතරින් වැඩිදෙනෙක් මැලේ මුස්ලිම් ජාතිකයන්. //

    • බහුතර මුස්ලිම් හා මැලේ මුස්ලිම් යන දෙවර්ගයන් අතර වෙනස යාපනේ දෙමළ හා මඩකලපු දෙමළ වැනි වෙනසකි. සිංහල බෞද්ධයන් හා සිංහල ක්‍රිස්තියානීන් අතර ද මෙවැනි සංස්කෘතික වෙනස්කම් තිබේ. ඔවුන් එකම ජාතියක් නොවේ යයි කිසිවකු කියන්නේ නැත. අනෙක, මෙතන ඔවුන් එක ජාතියක් යැයි අප කියා ද නැත.

  2. මුස්ලිම් සමාජය හුදෙකලාව තැබීමට පල්ලිය විසින් ඉතා ප්‍රතිගාමී දැවැන්ත ව්‍යාපෘතියක් කලක සිට ක්‍රියාත්මක කරමිනුයි සිටින්නේ .සංගීතය සහ කලාව පාපයක් බවට ඔවුන්ගේ ඔලුවලට ඉන්ජෙක්ෂන් කිරීමේ ප්‍රථිඵලය නිසා තමා අද මුස්ලිම් කලාකරුවෝ නැත්තේ .
    මුස්ලිම් පල්ලිය රටම අගාධයකට ගෙන යාමට අවශ්‍ය පසුබිම සකසමින් ඉන්නවා

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: