Accident in Waskaduwa

පැය 48ක් තුළ 30ක් මරා දැමූ අවුරුදු මාරයා කවුරුද?

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ලාංකිකයන්ගේ චර්යාව අනුව අලුත් කොවිඩ් රැල්ලක් ඇතිවේදැයි බියක් සෞඛ්‍ය, හමුදා, පොලිස්, මාධ්‍ය වැනි අංශවලින් පළවනු දක්නට ලැබිණි. එහෙත්, අලුත් අවුරුදු වැරදි චර්යාවන්වලින් මතුවුණේ කොවිඩ්-19 අවදානම පමණක් නොවේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරූ පැය 48ක කාලය තුළ මාර්ග අනතුරුවලින් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

අලුත් අවුරුදු සමය යනු සෑම වසරකම මාර්ග අනතුරු බහුලම සමයකි. මාර්ග විනය නොතකා ධාවනය කිරීම, මත්පැන් පානය කර රිය පැදවීම, රියදුරු බලපත්‍ර නොමැති පුද්ගලයන් රිය පැදවීම ආදිය මේවාට බොහෝ දුරට හේතු වේ.

“අවුරුදු කාලෙට පාරට බහින එකත් භයානකයි,” යි අප සමග කතා කළ මැදිවියේ මහතකු කීවේය. “මෝටර් සයිකල්, ත්‍රීවීල් එක්ක වාහන එළවන එක හරි අමාරුයි. පාරෙ පොඩ්ඩක් හරි ඉඩ තිබුණොත් එහෙම වම් පැත්තෙන් පවා ඉස්සර කරනවා.”

“රිය පදවන්නෙ කාන්තාවක්ය කියා දැනගත්තාම සමහරු අපව බය වෙන විදියට රිය පදවනවා,” යි අප සමග කීවේ 35 වියැති කාන්තාවක්. ඇය සිය ගමන් බිමන් සඳහා වැගන් ආර් වර්ගයේ කාරයක් පාවිච්චි කරනවා. “තනි සුදු ඉර තියෙන තැන්වලදී ඉස්සරහින් එන වාහනය ගැන හිතන්නේ නැතුව ඉස්සර කරන එක හරිම සුලබ දෙයක් මේ දවස්වල.”

තිස් අවුරුදු යුද්ධයෙන් පසු 2009 වසරේ සිට 2019 වර්ෂය අවසානය දක්වා සිදු වූ මාර්ග අනතුරුවලින් පමණක් පුද්ගලයන් 30,000ක් පමණ මරණයට පත් වූ හ. වර්තමානයේදී රිය අනතුරු හේතුවෙන් සෑම පැය තුනකට පමණ වරක් පුද්ගලයකු මිය යන බව ගණනය කර තිබේ.

පොලිස් සංඛ්‍යාලේඛන අනුව, 2018 වර්ෂය තුළ පමණක් සිදු වූ මාර්ග අනතුරු සංඛ්‍යාව 35,000ක් පමණ වේ. පොලිසියට වාර්තා නොවන බොහෝ මාර්ග අනතුරු රක්ෂණ සමාගම්වලට වාර්තා වේ. ඒ අනුව, සිදු වී තිබෙන අනතුරු සංඛ්‍යාව 500,000ක් පමණ වේ. හදිසි අනතුරු හේතුවෙන් සිදු වන ඍජු අලාභය වසරකට රු. බිලියන 50ක් පමණ වේ යයි ගණන් බලා තිබේ. එහෙත්, හදිසි අනතුරුවලින් සිදුවන මරණ, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වියදම් ආදිය ද සමග සමස්ත අලාභය රු. බිලියන 200ක්වත් විය හැකි ය.

2019 වසරේ රිය අනතුරු මගින් පුද්ගල මරණ 2,689ක් සහ රපතළ තුවාල ලැබීම් 7,718ක් වාර්තා විය. කොරෝනා ඇඳිරි නීති ආදිය නිසා 2020 වසරේ මාර්ග අනතුරු අවම විය. එහෙත්, පුද්ගල මරණ 1,843ක් සහ බරපතළ තුවාල ලැබීම් 5,284ක් වාර්තා වී ඇත.

මාර්ග අනතුරු අවම කිරීම සඳහා කටයුුතු කිරීම රටේ ආරක්ෂාවට, සෞඛ්‍යයට හා සුබසාධනයට කෙතරම් වැදගත්ද යන්න ඉහත දක්වන ලද කරුණුවලින් පැහැදිලි වේ. එහෙත් එය හුදෙක් පොලිසියේ වගකීමක් පමණක් නොවේ. සමස්ත සමාජය ම ඒ සම්බන්ධයෙන් වගවිය යුතු ය. නොහික්මුණු රිය ධාවනයට විරුද්ධ වන්නට එසේ ධාවනය වන රියක සිටින සෑම කෙනෙකුට ම අයිතිය තිබේ. ඒ පිළිබඳ පොලිසියට දන්වන්නට දැන් ඕනෑ තරම් ක්‍රමවේද තිබේ. පොලිසිය එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නට සමත් විය යුතු ය. ට්‍රැෆික් පොලිසියේ වෙබ් පිටුව මෙතැනින්.

මේ පිළිබඳ පුළුල් කතිකාවක් සමාජය තුළ ගොඩනැගීම දේශපාලන ව්‍යාපාරවල ද වගකීමකි. මාර්ග නීතිවලට ගරුකරන විනයගරුක රියදුරන් ගොඩනැගීම සමාජය ගොඩනැගීමෙහිදී අත්‍යවශ්‍යය.

තවත් ලිපියක් මෙතැන: මාර්ග අනතුරු වළක්වාගැනීමෙන් අත්කරගත හැකි සමාජ ජයග්‍රහණ

Creative Content Consultants