Belarusian Sprinter Krystsina Tsimanouskaya

ක්‍රීඩාවට පිටරට ගොස් ගල්වූ ලාංකික අත්පන්දු කණ්ඩායමේ කතාව

දේශපාලන අර්බුදයක් තිබෙන නැගෙනහිර යුරෝපීය රටක් වන බෙලරුස් කෙටිදුර ධාවන ක්‍රීඩිකා Krystsina Tsimanouskaya තෝකියෝ ඔලිම්පික් උළෙල අතරතුර ඕස්ට්‍රියාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලාසිටීමත් සමග ශ්‍රී ලංකාව ගැන ද කතාබහ ඇති වී තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් අවස්ථා ගණනාවකදී විදේශ ක්‍රීඩා තරගාවලි අතරතුර ඒ රටවල සැඟවුණහ. ඔවුන් ක්‍රීඩාවෙන් ජාතිය නියෝජනය කිරීම පසෙකලා නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස රැකියා කර මුදලක් උපයාගත්හ.

මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු – ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ.

මෙම ව්‍යාජ කණ්ඩායමට අත්පන්දු ක්‍රීඩාව ගැන දැනුමක් ද නොතිබිණි. ඒ වන විට ලංකාවේ අත්පන්දු ක්‍රීඩාව ඉතා දුලබ විය. දැන් නම්, ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී ඇත්තට ම අත් පන්දු ක්‍රීඩා කරයි.

එහෙත් 2004 වන විට ලංකාවේ අත් පන්දු ක්‍රීඩාවක් හෝ එවැනි ක්‍රීඩා සංගමයක් තිබුණේ නැත. යුරෝපයට යන්නට සිහින මැවූ තරුණ පිරිසක් ව්‍යාජ අත්පන්දු සංගමයක් හා කණ්ඩායමක් සකසාගෙන ඒ ඔස්සේ ජර්මනිය ද රවටා ගුවනින් ජර්මන් ගොස් ගල් වූ හ.

මචං චිත්‍රපටය මෙම සිද්ධිය ප්‍රබන්ධාත්මකව ප්‍රතිනිර්මානය කරයි.

පහත දැක්වෙන වීඩියෝවල තිබෙන්නේ එම සත්‍ය සිද්ධියට අදාළ තරග දර්ශන හා වෙනත් සිදුවීම්ය. ඒවා මචංටත් වඩා රසවත් යයි අපට සිතේ. ජීවිතය කොහොමත් සිනමාවට වඩා යථාර්ථවාදී ය. 

2004 වසරේදී මෙසේ යුරෝපයේ ගල්වූ අය දැන් ඇතැම්විට ආපසු පැමිණ සිටිය හැකිය. නැතිනම්, යුරෝපා රටක සිට ෆේස්බුක් හරහා ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වනවා ඇත. මෙතැන් සිට ඔබේ කතාව ඔබ කැමති නම් කියන්න.

එදා එම සිද්ධිය BBC වාර්තා කළ ආකාරය මෙතැනින්

රට ගිහින් ගල්වීම ගැන මගේ කතාවක් මෙතැනින්

Creative Content Consultants