Banglasdesh cricket

කොවිඩ්-19 ලිට්මස් ටෙස්ට් එකක් වෙන බංග්ලාදේශ ටෙස්ට් සවාරිය

ටෙස්ට් තරග තුනක් සඳහා සැප්තැම්බර් 27දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙන දින 14ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු දැඩි කොන්දේසි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර තරගාවලිය අවිනිශ්චිත තත්වයකට පත් වී තිබේ.

Translations by Creative Content Consultants

එකී දින 14 තුළ පුහුණුවට හෝ අවස්ථාව නොලැබීම හා සංචාරක කණ්ඩායම සමග පැමිණෙන සමස්ත පිරිස 30කට සීමා කිරීම වැනි නිරෝධායන නීති රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙත ඉදිරිපත් කර තිබේ.

බංග්ලාදේශය කොවිඩ්-19 ව්‍යාප්ති ප්‍රස්ථාරයේ වක්‍රය තිරස් මට්ටමක පවත්වාගෙන යන රටකි. කෙසේ වෙතත්, එරට රෝගය පවතින අතර මේ වන විට රෝගීන් 340,000ක් පමණ හමු වී, මරණ 4,750ක් පමණ සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවේ සමාජය රෝග ව්‍යාප්තියක් සඳහා සූදානම් තත්වයක නොමැති අතර, දූපතක් වීමේ වාසිය භාවිතා කරමින් රටට ඇතුළු වෙන මාර්ග දැඩි පාලනයකට යටත් කිරීම හරහා රෝගය පාලනය කරගෙන තිබේ. මේ වන විට සමාජයේ සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අවම වී තිබෙන අතර, දේශපාලන හා නිලධාරී ප්‍රභූන්ගේ කාර්ය මණ්ඩල නම් තවමත් පීසීආර් පරීක්ෂණවලට ලක්කෙරේ.

මේ වන විට සමාජය තුළ නිරෝධායන නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැත. බොහෝ තැන්වල දෑත් සේදීමේ පහසුකම් හෝ හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත්, රෝගයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බැවින් රට තුළ සාමාන්‍ය තත්වය ඇති වී තිබේ.

ආරක්ෂක හා සෞඛ්‍ය අංශ මගින් රට තුළට ඇතුළු වෙන පුද්ගලයන් නිරෝධායනයට ලක්කිරීම වගකීමකින් යුතුව කරන අතර, ඉඳහිට සමාජයෙන් රෝගියකු හමු වූ විට රෝගියාගේ සම්බන්ධතා හඹාගොස් සියලු දෙනා නිරෝධායනයට ලක්කිරිම මගින් රෝගය පාලනය කරගෙන තිබේ.

එහෙත්, මේ අන්දමින් කොවිඩ්-19න් බේරී සිටීමට නම් ලෝකයෙන් කොවිඩ්-19 තුරන් වනතුරු ගුවන් තොටුපළ වසාගෙන සිටින්නට සිදු වේ. නැතිනම්, නිරෝධායන නීති ලිහිල් කරන්නට සිදු වේ.

ශ්‍රී ලංකාවේ දැඩි නිරෝධායන නීති රීතිවලට පළමු අභියෝගය එල්ල වී තිබෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද මුළුමනින්ම පාහේ අකර්මන්‍ය වී තිබේ. ඍජු රැකියා කරන 180,000ක් ඇතුළුව 450,000ක් පමණ ජනයාගේ ජීවනෝපාය වූයේ සංචාරක කර්මාන්තයයි. මෙම පිරිසට රජය තවමත් ඇත්ත කියා නැත.

පවත්නා තත්වය අනුව ශ්‍රී ලංකාවට ගුවන් තොටුපළ ඇරිය නොහැකිය සංචාරක කර්මාන්තය යළි ආරම්භ කළ නොහැකිය.

ශ්‍රී ලංකාව ගුවන් තොටුපළ අරිනවා නම් රටේ ජනතාව කොවිඩ්-19 සඳහා මීට වඩා හොඳින් සූදානම් කළ යුතු ය.

Translations