මනෝජ් ප්‍රේමකීර්ති

පැරණි නාට්‍ය නාඩගම් නාඩගම් දැන් දකින්න අමාරුයි. ඉස්කෝලවල ළමයින්ට ඒව ගැන තියෙන පාඩම් කියලා දෙනකොට ප්‍රායෝගිකව අත් හදා බැලීම් කරන්න තියෙන්න ඕන. මනමේ සිංහබාහු වගේ නාට්‍ය දැන් දකින්න නෑ. අපේ ගමේ ඉස්කෝලේ ළමයින්ට මේ නාට්‍ය තිබුණත් පෙන්නන්න සිදාදියට එක්ක යන්නයැ. පුළුවන් හැටියට මේ නාට්‍යයක් අපි ම හදලා ගමේ පෙන්නන්න තීරණය කර ගත්තයි කියමුකෝ.

මේක ලියලා හදලා ගන්න වැඩේ මහින්ද මහත්තයා බාරගත්තා. එයා අපි හිටපු මුල් ගුරුතුමා නෙ. මනමේ නාට්‍යය ම අලුත් විදිහකට හදලා ගන්න එතුමා කැමති වුණා. ප්‍රධාන නළු නිළියෝ සහය නළු නිළියෝ අවසේස වැඩට කට්ටිය ඔක්කොම තෝර ගත්තා. මනමේ කුමාරයාට අපේ පේමෙ, වැදි රජ්ජුරුවන්ට නන්දෙ, කුමාරිට සිරියාවතී, තව ඉතින් ඔය සහය නළුවන්ට කට්ටිය දා ගත්තා. මටත් බාර වුණා ඔය පොඩි පොඩි වැඩ. පුහුණුවීම් දිගටම කරගෙන යනවා. මේක දැන් පෙන්නන්නෙ කවදද කියල ප්‍රශ්නයක් ආව. කලාපයෙන් අහල යැව්වායින් පස්සේ ලොක්කගෙ ගෝරනාඩුව ළමයින්ට ඕලෙවෙල් විබාගෙ තියෙනවා, වාරවිභාග තියනවා, ඒවට බාධාවක් නොවෙන්න ඕක තියන්න ඕනෑ කියලා.

නොවැම්බර් 16 වැනිදා ට පෙන්වමු. කාටත් කැමති වෙන්න වුණා. නාට්‍යයට කඩුවක් ඕනනේ. ලොකුම ප්‍රශ්නේ ඒක. ඔය කාඩ්බෝඩ් කෑලි වලින් වලින් හදලා හරියන්නෑ හරියටම එකක් ඕනෑ. ඇයි අපේ බණ්ඩයියාගේ කඩුව. ඒක දැන් තියෙන්නෙ සිරියාවතී ලඟනෙ. වැඩේ ලේසියි.  දිගටම පුහුණුවීම්,  දවසකට නන්දෙලාගෙ ගෙදර, තව දවසක ට සිරියාවතීලගෙ ගෙදර, තව දවසකට පේමෙලාගෙ ගෙදර.

දැන් පෙන්නන දවසත් ටික ටික කිට්ටු වෙනවා. අධ්‍යක්ෂතුමාගෙන් ලොකුවට උපදෙස් ලැබෙනවා. මේක හරියටම කරන්න ඕනැ. හොද තාත්වික රංගනයක් ඕනැ.  පිටපත බලා ගෙන, දෙබස් හරියට කියන්න ඕන. වෙලාවට හිතේ තියෙන දේවල් එහෙම කියලා හරියන්නෑ.

“මට නම් ඇයි පිටපත් ඕන්නෑ ඒක මෙයාට දෙන්නකෝ. මං හරියට වැඩේ දෙන්නම් දෙනවක හාමිනේ වගේ” පේමෙ, නන්දෙව පෙන්නුවා ඔලොක්කුවට වගේ බලන ගමන්.

“අනේ උඹ හිටි න් මගෙන් මුකුත් අහගන්න නැතුව.”

පෙන්නන දිනේ ආවා. ඔක්කොම ලක ලෑස්තියි. තිරය අරින වහන එක මට බාර දුන්නා. කොයිකටත් කියලා කියල රෝහිතයගේ හොර පොළෙන් හම්බවෙච්ච ඒවයින් දෙකක් දාගෙන වැඩේට ලෑස්ති වුණා. ගමේ සෙනග සූ ගාලා වටවෙලා. බණ්ඩයියා ගමේ ප්‍රභූවරයෙක්. ඉස්සරහම පේලියේ පුටුවක.

නාට්‍යය පටන් ගත්තා. පසුබිම් සංගීතය ඇහෙනවා “ගල් ලෙන බිඳලා. …ලෙන් දොර ඇරලා.”

පේමය පැන්න මැදට. “වහපිය තිරේ.”

එක හූවයි, දෙපැත්තම දෙවනත් වෙන්න.

“යකෝ මේ තොපි පෙන්නන්නෙ මනමේ ද? සිංහබාහු ද?”

ටික වෙලාවකින් වැඩේ ආයෙ පීල්ලට දාගත්තා. කුමාරියි කුමාරයයි තද ප්‍රේම ජවනිකාව. නියම ඉටිකිරිස් සීන් එක. තාත්වික රංගනය. ඔතන පොඩි යට කතාවකුත් තියෙනවා. ඒ දෙන්නගේ පෙම් පළහිලව්වෙ සිරියාවතී ප්‍රේමෙට කැමැත්තෙන් ඉන්නේ ඒ උනාට මහ එකා වික්‍රමය ගේ වැඩපිළිවෙල සිරියාවතීට හරියන්නෑ. නන්දෙ මහ මදාවියා. ඒ හන්ද සිරියාවතී ඒකට වැඩි කැමැත්තක් නැති වුණාට බය තියෙනවා. මොකද, තෝ මටබහ දුන්නැත්තං අඩි හයක් යට වල දමනවා කිව්වාලුනෙ. ඔය පරණ කතා බතා ඇඟෑලුම්කම් සිරියාවතීට මතකෙට ආව. මේ රඟපාන නාට්‍යයක් කියලා දැන් මතකයක් නෑ. වැඩේ පූල් සීරියස් නැගලා යනවා වේදිකාව පැත්තකින් ඉන්න මට තමයි හොඳම හරිය පේන්නෙ. ඉස්සරහ බලා ඉන්න උපාසකමිමල නිකටෙ අත තියාගෙන. නන්දෙ ඇතුලට වෙලා දත්මිටි කකා ඉන්නව.

ඔන්න නන්දෙ පැන්න එලියට. එක ජරමරයයි, දැන් ඔක්කොටම දෙබස් මතක නෑ. සිරියාවතී තාම රොමැන්ටික් සීන් එකේ. තිබුණු කඩුව ගත්ත අතට කොපුවෙන් ගලවලා. දැන් ඔන්න හතර අතේ වනනවා. පිටපතේ හැටියට කඩුව නන්දෙට දෙන්න ඕන කොපුව ප්‍රේමෙට. ඒ උනාට දෙන්න හිතක් නෑ කොපුව මොකක්ද කඩුව මොකද්ද කියල නිනව්වඑකුත් නෑ.

ඉස්සරහ වාඩි වෙලා බලන් හිටපු බණ්ඩයියාට එන පොට හොඳ නැති බව තේරුණා. මොකක්ද යෝදියෙ ඔය කරන්නේ කියාගෙන වේදිකාවට නැග්ගා. සිරියාවතීට නිනවුවක් නෑ කඩුවයි කොපුවයි දෑතට වනනව. බුදු අම්මෝ! වනන පාර වැදුනේ බණ්ඩයියාගේ අතට, එක අතකට වනන කොට ඇඟිලි කැපිල විසිවුණා නන්දෙ ගාවට. අනෙක් අතට වනන කොට වළලුකර ගාවින් කැපිළ ඉතුරු කොටේ විසි වුණා පේමෙ ගාවට. මහා ගිනි විජ්ජුම්බරයයි. ඒ අව් අස්සේ එකෙක් 1990ට ගහලා සුරුස් ගානකොට ඇම්බියුලන්ස් එක එතැන. අත් කොට කෑලිටික සිලි බෑග් එකක දාල ඒකෙම යැවුවා. කොහොම කරත් බංඩයියගෙ අත නං ඉවරයි. මං තව දෙකක් කට කපලා දාගෙනම එතනින් හිමිහිට පල්ලං බැස්සා. මදෑ නාට්‍ටි පෙන්නුවා. දැන් පලයල්ලකො කවුරුත් එක්ක පොලිස්සි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.