President Gotabaya worshiping Buddhist monks

අපරාධකාරී සිවුරුකාරයන් හිරගෙට; අන්තවාදී මහණුන්ට වැට; ප්‍රභූ භික්ෂූන් උපදේශක සභාවට

අජිත් පැරකුම් ජයසිංහ

සිවුරේ බලයට ආවරණය වෙමින් විවිධ අපරාධ හා වැරදි ක්‍රියාවල නියැලුණ භික්ෂූන්ට අධිකරණයෙන් දැඩි දඬුවම් පමුණුවන ස්වභාවයක් නව රජය බලයට පැමිණීමෙන් පසු දක්නට ලැබේ.

Translations by Creative Content Consultants

මෙම සටහන තබන විට ආසන්නම සිද්ධිය වන්නේ නව හැවිරිදි දැරියක දූෂණය කළ කොළොන්නාවේ විහාරස්ථානයක 47 හැවිරිදි හිමි නමකට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අවුරුදු අටක සිර දඬුවමක් හා දඩයක් පැනවීමයි.

ඊට පෙර, පසුගිය ජුනි 01දා ද විහාරාධිපති හිමි නමකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී. මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාව මත මෙසේ ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් විය.

වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කර කළහකාරී ලෙස හැසිරුණු වඩුගෙදර සාරානන්ද හිමිට පසුගිය අප්‍රේල් 25දා අධිකරණය ඇප ලබාදුන්නේ දැඩි කොන්දේසි මත ය. එහෙත්, එහිදී ද භික්ෂුවක් වීම යන කරුණ කෙරෙහි අවධානය යොමු කරන බව වැඩබලන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ය.

පවුලේ ආරාවුල් හේතුවෙන් රැකබලා ගත නොහැකි බව පවසා භික්ෂුණී ආරාමයකට භාර දී තිබුණු 13 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් දූෂණය කර, තම රියදුරුටත් දැරිය දූෂණය කිරීම සඳහා අනුබල දීම සම්බන්ධයෙන් (පසුව එම භික්ෂුවගේ මෙහෙයවීමෙන් එම දැරිය මහණ කර තිබේ) පදවියේ විහාරාධිපතිවරයකු වන මෝදරවානේ අමිලසිරි භික්ෂුව පසුගිය මාර්තු මාසයේදී රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමේ දේශපාලනයේ අන්තවාදී, ප්‍රචණ්ඩ භික්ෂූන් ගණනාවක් ම පෙරමුණේ සිටිය හ. ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අතුරලියේ රතන හිමි, ඉත්තෑකන්දේ සද්ධානන්ද හිමි, මැඩිල්ලේ පඤ්ඤානන්ද හිමි, මාගල්කන්දේ සුනන්ද හිමි මෙන්ම අම්පිටියේ සුමන හිමි වැනි අය ද වර්තමානය වන විට බොහෝ දුරට නිශ්ශබ්ද ස්වරූපයක් අනුගමනය කරන බව දැකිය හැකි ය.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංහල බෞද්ධ අධිපතිවාදය වෙනුවෙන් පෙනී සිටිමින් රාජ්‍ය පාලනයේදී භික්ෂූන් මූලික කරගැනීම වඩා විධිමත් කර තිබේ. එසේම, භික්ෂු බලවේගයේ මනා පාලනයක් ඔහු වෙත තබාගැනීමට ද ඔහු කටයුතු කර ඇති බව පෙනේ. ඔහු මේ වන විට ප්‍රභූ භික්ෂූන්ගෙන් සමන්විත බෞද්ධ උපදේශක සභාවක් පත් කරගෙන ඇති අතර, එම උපදේශක සභාව මාසිකව හමු වීමට ද වග බලාගනියි. මේ වන විට එම බෞද්ධ උපදේශක සභාව තුන්වරක් රැස් වී තිබේ.

කලහකාරී, දේශපාලන භික්ෂූන්ට මෙම බෞද්ධ උපදේශක සභාවේ ලබා දී තිබෙන්නේ අවම ඉඩක් වීම කැපී පෙනෙන ලක්ෂණයකි.

ජනාධිපතිවරයා ප්‍රභූ භික්ෂූන් හා ප්‍රධාන විහාරස්ථාන සමග සමීප ඇසුරක් පවත්වාගෙන යන ආකාරය ද දැකිය හැකි ය.

ජනාධිපතිවරයා සිංහල බෞද්ධ ආධිපත්‍යය පිළිගන්නා ස්ථාවරයක කටයුතු කරන බව පෙනේ. එහෙත්, ඔහු සිංහල බෞද්ධ අන්තවාදී රස්තියාදුකාර දේශපාලන භික්ෂු බලවේගය බැහැර කරමින් ආයතනික ප්‍රභූ භික්ෂු තන්ත්‍රය සමග කටයුතු කිරීමේ මූලෝපායක් අනුගමනය කරමින් සිටිනු දැකිය හැකි ය.

කවරයේ ඡායාරූපයේ දැක්වෙන ශරීර භාෂාව ඉතා වැදගත් ය. බොහෝ කපටි දේශපාලකයන් භික්ෂූන්ට ව්‍යාජ ලෙස වඳින විට මේ අන්දමින් පසඟ පිහිටුවීමට ආසන්න ඉරියව්වකින් වඳින්නේ නැත. ඔවුන් කරන්නේ යන්තම් දෙකට නැවී වැඳීමයි. භික්ෂූන් කෙරෙහි ඔවුන් විවෘතවම පෙන්වන ව්‍යාජ ගෞරවයට වඩා වෙනස් නිරූපණයක් ජනාධිපතිවරයාගෙන් දැකිය හැකි බව අපට පෙනේ.

ශ්‍රී ලංකාවේ සංඝ සමාජය ද අනෙක් සියලු සමාජයන් පරිද්දෙන් අන්තයට ම පිරිහී ගොසිනි. දේශපාලකයන් පසුගිය සමයේ තම වාසිය සඳහා පාවිච්චි කළේ වැඩියෙන් ම පරිහාණියට පත් පිරිසයි. පහත දැක්වෙන්නේ වනවාසී රාහුල හිමි නම් භික්ෂුවක විසින් අවුඩි මෝටර් රියක් මිළට ගෙන ඒ පිළිබඳ ෆේස්බුක්හි පළ කළ පෝස්ටුවකට ලැබුණු ප්‍රතිචාර ලෙස පසුගිය ජනවාරියේ පළ කරන ලද තවත් පෝස්ටුවකි. සංඝ සමාජයේ පරිහාණියේ තරම එයින් සිතාගත හැකි ය.

Translations