Photo credit: Colombo Telegraph

අජිත් පැරකුම් ජයසිංහ (2019 සැප්තැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ)

සාමනේර භික්ෂූන් දෙනමකට කඩහිමියකු පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වීමත් සමග සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. මෙය ඉතා හොඳ තත්වයක්. ලංකාවේ වැඩි ම ළමා හිංසනයන් සිදුවන ස්ථානය පාසලයි. පාසල්වල ළමයින්ට සිදුවන මානසික හිංසනයේ නිමක් නැහැ. ඒ අතරේ ශාරීරික හිංසනය ද මහා පරිමාණයෙන් සිදුවෙනවා. පාසල් ළමයින්ට ජංගම දුරකථන ගෙන ඒම තහනම් කර තිබෙන එක නිසා ඒවා වීඩියෝ විදියට වයිරල් වෙන්නෙ නැහැ.

Translations by Creative Content Consultants

ඒ වගේ ම, ලංකාවේ සමාජය හිංසනයට අකැමැතියි කියා කියන්නත් බැහැ. ඔවුන් හිංසනය සම්ප්‍රදායිකව ම අගය කරනවා. ‘නොගහා හැදූ ළමයා හැඳි නොගා හැදූ හොද්ද වැනි ය’ යන කියමන ජනවහරට එක් වීමෙන් පෙනී යන්නේ ගුරු දෙගුරුන් විසින් ළමයින් ශික්ෂණය කිරීම සඳහා හිංසනය භාවිතා කිරීම අත්‍යවශ්‍ය වූ බවයි. මේ අතර, තමන්ට අතීතයේදී ඉගැන්වූ ගුරුවරුන් ගැන කතා කරන පිරිසක් ඉන්නවා, ඔවුන් තමන්ට පහර දුන් ගුරුවරුන්ට තමයි වැඩිපුර ම ගරු කරන්නෙ.

විශ්වවිද්‍යාලවල නවක වධය කියන්නෙත් හිංසනය ම තමයි. ලංකාවෙ ආදි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් සැලකිය යුතු පිරිසක් නවක වධය ආරක්ෂා කරනවා. ඔවුන් රැකියාවල යෙදී සිටින ගුරු වෘත්තිය වැනි අංශවලත් ඔවුන් හිංසනය පවත්වාගෙන යනවා.

1985 අංක 20 දරන ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව සෑම ළමයෙකුටම කිසිදු වෙනස්කමකට හෝ හිංසා පීඩාවකට ලක් නොවී ජීවත් වීමේ හිමිකම ලැබිය යුතු ය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියෙන් සියලු පුරවැසියන් වෙනුවෙන් තහවුරු කර තිබෙන සමානාත්මතාවට ව්‍යතිරේඛයක්.

ඉහත කී සාමනේර භික්ෂූන්ට පහර දුන් පුද්ගලයා පවසන්නේ එම භික්ෂූන් තම කඩයෙන් චොකලට් සොරකම් කළ  බවයි. පැණි රසට, කෙළි සෙල්ලමට ලොල් කුඩා දරුවන්ට පහර දීම මෙන් ම, මව්පිය රැකවරණයේ සිටිය යුතු ඔවුන් මහණ කිරීම ද එක බඳු ම ළමා හිංසාවන් ය.

1989 හදුන්වා දුන් ළමා ප‍්‍රඥප්තිය අනුව වයස අවුරුදු 18 දක්වා අය ළමුන් ලෙස හදුන්වා දී තිබෙනවා. විවාහ වීමේ අවම වයස අවුරුදු 18 විය යුතු ය යන්න අද සමාජයේ පිළිගත් කාරණයක්. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමේදීත් එය පිළිගත යුතු බවට නිර්දේශයක් ඒ වෙනුවෙන් රජය විසින් පත් කරන ලද කමිටුව විසින් ලබා දී තිබෙනවා. වයස අවුරුදු 16ට අඩු ළමයකු තම කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගික කටයුතුවල යෙදීම වරදක්. එය හැඳින්වෙන්නේ ව්‍යවස්ථාපිත දූෂණය ලෙසයි.

පන්සල්වල පිරිමි ළමයින් දූෂණය කිරීම සිදු වන බව ප්‍රසිද්ධයි. එහෙත්, ඒ පිළිබඳ පැමිණිලි කිරීම සිදු වන්නේ අඩුවෙනි. කෙරෙන පැමිණිලි ද සාමාන්‍යයෙන් යට ගසනු ලැබේ. ළමා කාමුකයන් (pedophiles) ඇතුළු ඇතැම් සමාජ අපරාධකරුවන් ආගම්වලට ආවරණය වී සිටින බව බොරුවක් නො වේ. බෞද්ධ සමාජයේ ළමයින් මහණ කිරීම වැනි ව්‍යවහාරයන් මේ පනින රිලවුන්ට ඉනිමං තබනවා වැනි ය. 

භික්ෂුත්වය යනු වර්තමාන පාරිභෝගික සමාජයේ දුෂ්කර ක්‍රියාවකි. එහෙයින් පුද්ගලයන් භික්ෂුභාවය සඳහා ඉදිරිපත් වන්නේ අඩුවෙනි. සිවුරු දරා සිටින ඇතැමෙක් ද විනයධර භික්ෂූන් වෙනවා වෙනුවට අසපු ලෙස නම් කර තිබෙන මන්දිරවල කාමසුඛල්ලිකානු ජීවිත ගත කරමින් දේශපාලනය වැනි සංඝයා විසින් නො කළ යුතු ක්‍රියාවල යෙදෙති. බෞද්ධයන්ට සේවය කිරීම පිණිස සිල්වත් භික්ෂූන් ඉතා හිඟයි. එහෙත්, ළමයින් මහණ කිරීම මෙයට කිසි සේත් ම විසඳුමක් නො වේ. අද වන විට උගත්, මධ්‍යම පංතික පවුල්වල දරුවන් මහණ කිරීමක් සිදු වන්නේ ම නැති තරම්. මහණ කිරීම සඳහා ළමයින් සොයා ගත හැකි වන්නේ අති දුෂ්කර, දිළිඳු ප්‍රදේශවලිනුයි. ළමයින් මහණ කිරීම වෙනුවට බෞද්ධ සමාජය වෙනත් විසඳුම් සොයා ගත යුතුව ඇති බව අපේ අදහසයි. 

යමක් කමක් ඇති, කරුණු කාරණා දන්නා, දරුවන් ගැන තැකීමක් ඇති දෙමව්පියෝ දැන් සිය දරුවන් මහණ කරන්නේ නැති තරම් ය. එසේ කරනවා නම් කරන්නේ සාංඝික හෝ ලොකු දේපලක් හිමි වන්නට තිබේ නම් පමණි. හතර කේන්දරේ පාළු වුණත් ළමයින් මහණ නොකිරීමට ළමයින්ට ආදරේ කරන දෙමව්පියන් වග බලා ගන්නේ ඔවුන් මෙම බාලාපරාධ පිළිබඳ අසා ඇති බැවිනි. 

මෙම තත්වය හේතුවෙන්, දැන් ළමයින් මහණ කිරීම සිදු වන්නේ හද්දා පිටිසර ගම්වල, දිළිඳු සමාජ කණ්ඩායම් අතරේ පමණයි. සාමනේර භික්ෂූන් සිවුරු හැර යාම වැඩි වීමට ද පවත්නා තත්වය හේතු වී තිබෙනවා. අද වන විට, බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සඳහා භික්ෂූන්ගේ හිඟයක් ද නිර්මාණය වී තිබෙනවා. 

කෙසේ වෙතත්, නූතන මානව ශිෂ්ටාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර, නො තේරෙන බාල වයසේදී මහණ කිරීම ශිෂ්ට ක්‍රියාවක් වන්නේ නැත. මෙම තත්වය වෙනස් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සසුන පැත්තෙන් ආරම්භ කළ යුතුව තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් සම්බන්ධ නීතිවල පියවිය යුතු පරතරයන් තිබෙනවා. නිදසුනක් ලෙස, ළමයකු අපරාධයක වරදකරුවකු බවට පත් කළ හැකි අවම වයස ලෙස මෑතක් දක්වා ම පැවතියේ වයස අවුරුදු 8යි. එය අවුරුදු 12 දක්වා ඉහළ නැංවෙන පරිදි අපරාධ නඩුවිධාන සංග්‍රහය සංශෝධනය කිරීමට ගිය අවුරුද්දේ රජය තීරණය කළා. අපරාධයක වගකීම භාරගත හැකි තරමට පුද්ගලයකු වැඩී ඇතැයි සැලකෙන අවම වයස කුමක් ද යන්න තවදුරටත් ගැටලුවක්. ඒ සඳහා අවම වයස අවුරුදු 14 දක්වා වැඩි කළ යුතු යයි ඇතැමෙක් පවසනවා.

1848 අංක 48 දරන ළමයින් හා තරුණයන් පිළිබද ආඥා පනත අනුව ළමයින් සහ තරුණ වියේ පසුවන පුද්ගලයන් සිදුකරන වරදකදී ඔහුට දඬුවම් ලබා දීමට වඩා පුනරුත්ථාපනයට යොමු කිරීම සිදු කෙරෙනවා. ඒ අනුව සහතික කළ පාසලකට යොමු කිරීම හෝ පරිවාස නිලධාරියෙකු යටතට පත් කිරීම වැනි පුනරුත්ථාපන ක‍්‍රමවේදයක් වයස අවුරුදු 18ට අඩු තරුණයන් වෙනුවෙන් භාවිත කෙරෙනවා. 1941 අංක 42 දරන වරදකරුවන් පරිවාස පාලනයෙහි තැබීමේ ආඥා පනත යටතේ බාල වයස්කරුවකු යම් වරදක් කළ විට සිරගත කිරීම හෝ දඩුවම් කිරීම වෙනුවට පරිවාස භාරයට පත් කිරීමත් එහිදී පුනරුත්ථාපනය කිරීමත් සිදු කෙරෙනවා.

ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ද නීතිමය පරතරයන් තිබෙනවා. ළමයකුට වයස අවුරුදු 14 සිට රැකියාවල යෙදීමේ හැකියාව ශ්‍රී ලංකාවේ නීති අනුව තිබෙනවා. එහෙත්, වෘත්තීය සමිතියකට බැඳිය හැක්කේ වයස අවුරුදු 16 සම්පූර්ණ වූ අයට පමණයි.

(Photo from Colombo Telegraph)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: